Language Switcher

V2025

අවුරුදු 18 සම්පූර්ණ හැමෝම බදු ලිපිගොනු විවෘත කළ යුත්තේ ඇයි?

2024 ජනවාරි පළමු දින හෝ ඊට පසු වයස අවුරුදු 18ට එළඹෙන සියලු තැනැත්තන් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු විවෘත කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයකින් ප්‍රකාශ කෙරෙයි.

එයට අමතරව, වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යා ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන තැනැත්තන් (ජුනි 1) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස ‌දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වන පිරිස කවුද?

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්


ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්

ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්

ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්

ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්

ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)

ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති ‌හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්

මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව මුදලක් ඕනෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්

දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඕනෑම අයෙකු

ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු

මීට අමතරව 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති, හෝ 2024 ජනවාරි 01 දින හෝ ඊට පසු වයස අවුරුදු 18 ට එළඹෙන සියලු තැනැත්තන් ද නව විධිවිධානයට යටත්ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති බව ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයේ දැක්වේ

ඉදිරියේ දී බදු ලිපි ගොනුවේ අංකය ඉතා වැදගත්

අවුරුදු 18ට සම්පූර්ණ වන රටේ සියලුම දෙනාට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වන ලෙස දැනුම් දුන්නේ ඔවුන් සෑම දෙනාගෙන්ම බදු අය කිරීමේ බලාපොරොත්තුවෙන් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේ දී රජයත් සමග කරන සියලුම රාජකාරී ගනුදෙනුවල දී මෙම බදු අංකය ඉතාම වැදගත් අනන්‍යතාවය ඔප්පු කිරීමක් ලෙස භාවිත කරන බැවින් එය අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇති බවයි.

"විශේෂයෙන් 2023 අයවැය ලේඛනයේ යෝජනාවක් තිබුණා අපේ රටේ අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන් සඳහා බදු ලිපි ගොනුවක් විවෘත කරනවා කියලා. මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ සියලු දෙනාගෙන් රජය බදු මුදලක් ගන්න යනවා කියලා. සියලු දෙනා ලියාපදිංචි කිරීමේ අරමුණ යම් කිසි නියාමනයක් කිරීම රාජ්‍ය ආදායම."

"සමහරක් අයට ඒ ලිපි ගොනුව තුළින් තමයි අපි තීරණය කරන්නේ රජයෙන් දෙන ආධාරය ඔහුට ලබාදීම සිද්ධ වෙන්නේ ඒ ලිපිගොනුවේ තොරතුරු අනුව. ඒක ලෝකයේ බොහෝ රටවලට තියෙන දෙයක්. ඒ නිසා පළමු කාරණාව තමයි ඒ සියලු දෙනාගෙන් බදු අය කරන්න යනවා කියලා, සියලු පුරවැසියන් ලියාපදිංචි කරනවා කියන කාරණාව ඇතුළේ."

"මේ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ මේ ජුනි මාසයේ පළමු වෙනිදා ඉදලා මේ රටේ බදු ගෙවිය හැකියැ යි කැපී පෙනෙන පන්තීන්වලට නියමයක් කරලා තියෙනවා කරුණාකර බදු ලිපි ගොනුවක් විවෘත කරන්න කියලා. විශේෂයෙන් වෛද්‍යවරුන්, නීතිඥවරු, ඉංජිනේරුවරුන් මේ වගේ කැපී පෙනෙන කණ්ඩායම් ඉන්නවා. ඒ වගේ කණ්ඩායම් 14කට ඒ කාරණාව පිළිබඳව සඳහන් කරලා."

" කොටස් දෙකක් තියෙනවා. දෙවන කොටසේ 2024 වසර වෙනකොට මෙතෙක් ලියාපදිංචි නොවී තිබුණු අවුරුදු 18ට වැඩි සියලුම දෙනා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුයි කියන කාරණාව. ඒකෙනුත් අදහස් වෙන්නේ නැහැ සියලු දෙනාගෙන් බද්දක් ගන්න යනවා කියලා. සියලු දෙනාම මේකෙන් ලියාපදිංචි වෙලා ඒ අයට සුබසාධන දීමනා ගෙවීම් තීරණය වෙන්නේ මේ බදු ලිපි ගොනු හරහා යි."

"විශේෂයෙන් පුරවැසියෙකුට ඔහු රජය සමග තියෙන සුවිශේෂී අයිතිවාසිකම් ලියැවිල්ලක් බවටත් මේ ලිපි ගොනුව පත්වෙනවා. ලෝකයේ බොහෝ දියුණු රටවල මේක අනුගමනය කරනවා. රජයට හැකි අයගෙන් ආදායම් ගන්නවා වගේම රජයෙන් ආධාරයක් අවශ්‍ය අයට ඒවා ලබාදීමත් මේ බදු ලිපි ගොනු තුළින් තමයි සිද්ධ වෙන්නේ."

"එමෙන්ම ඉදිරියේදී ඔවුන් රජය සමග කරන සියලුම රාජකාරී ගනුදෙනුවල දී මේ බදු අංකය ඉතාම වැදගත් අනන්‍යතාවය ඔප්පු කිරීමක් ලෙස භාවිත කරනවා," මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

බීසීසී