අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට සහයදීම හේතුවෙන් ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ පිරිසකට නැවත අමාත්‍ය තනතුරු ලබාදීම සඳහා සුදානමක් පවතින බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට මෙම 16 කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බව සඳහන් කරමින් ආණ්ඩුවෙන් ඉවත්වුවත් ඒ අතරින් පිරිසක් නැවත ආණ්ඩුවට එක්වීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.
ඒ පිළිබඳ ඔවුන් ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා පවත්වා ඇති අතර තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බවත් තමන් විරුද්ධ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තියට බවද එහිදී ඔවුන් ජනාධිපතිවරයාට දන්වා ඇත. එසේම පක්ෂයටත් ජනාධිපතිවරයාටත් සහයදෙමින් පක්ෂයේ දුර්වලතා සකසාගෙන ඉදිරියට යාමට කැපවීමට සුදානම් බවද ඔවුන් සඳහන් කර ඇත.
මේ සම්බන්ධ වාර්තා කරන දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධවීමේ අපේක්ෂාවෙන් මෙම පිරිස් ආණ්ඩුවෙන් ඉවත්වුවත් ඒ සඳහා පැවති සාකච්ඡා අසාර්ථකව තිබෙන බවය.
අවස්ථාවාදීන් ගන්න එපා - පොහොට්ටු ප්‍රබලයින් බලපෑම් කරලා
ඒ දයාසිරි ජයසේකර, එස්.බී.දිසානායක, ඇතුළු කිහිපදෙනෙකු සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ එල්ල්ලවූ බරපතල විරෝධය නිසාය. එහිදී මෙම පිරිස අවස්ථාවාදීන් බවත් වාසි පිලට පණින මේ පිරිස් එකට තබා පාඩමක් උගැන්වීම හැර පක්ෂය හතරමායිමකට වද්දා ගන්නවාට විරුද්ධ බව පොදුජන පෙරමුණේ ප්‍රබලයින් සඳහන් කර ඇත.
එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් පාර්ශවයත්, එහි උපදේශකයන්ද එම මතයේ දැඩිව සිට ඇති බැවින් අවසානයේ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ පොදුජන පෙරමුණේ ස්ථාන අහිමිවූ පිරිස ජනාධිපතිවරයා මුණගැසී ඇත.
එසේම මෙම පිරිස අමාත්‍ය මහින්ද සමරසිංහ ඇතුළු ජනාධිපතිවරයාගේ පාර්ශවයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමඟද සාකච්ඡා කර ඇති අතර එහිදී කිහිපදෙනෙකු නැවත ආණ්ඩුවේ අමාත්‍යධුර ලබාගැනීමටද එකඟතාව පළකර ඇති බවත් වාර්තා වෙයි.
නායකතුමා එන්න දුන්නත් අපෙන් ඉඩක් නෑ - එජාප ප්‍රබලයෙක්
මේ අතර එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ආණ්ඩුවෙන් ඉවත්වූ පිරිස නැවත ආණ්ඩුවට එක්වුවත් ඔවුන් කැබිනට් අමාත්‍යධුර ලබා ගන්නවා නම් විශ්වාසභංග යෝජනාවට පක්‍ෂවීම සම්බන්ධව ස්වයං විවෙච්චනයක් සිදුකරගත යුතු බවය. newstube.lk වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් එජාප ප්‍රබලයකු සඳහන් කර සිටියේ අවම සදාචාරයත් කෙළෙසා ඔවුන් නැවත ආණ්ඩුවට එන්න හදන්නේ නම්බු පිට පරණ කකුළෙන් අදින දේශපාලනයම කරන්න නම් පක්ෂ නායකත්වය ඊට ඉඩ ලබාදුන්නත් තම කණ්ඩායම ඊට ඉඩක් නොතබන බවය.
යහපාලන ආණ්ඩුව කියන්නේ කාගේ හෝ භුදලයක් නොවන බවත් සඳහන් කළ ඔහු විශ්වාසභංග යෝජනාවට සහය දෙමින් පාර්ලිමේන්තුවේ ජන්දය ලබාදුන් කිසිවෙකුට නැවත අමාත්‍ය තනතුරු නොදීමට එජාපය ඒකමතිකව සම්මත කළ යෝජනාවක් ඇති බව සිහියේ තබාගෙන කටයුතු කලයුතු බවද පැවසීය.

