මල්වතු මහනායක හිමි ලෙස පෙනීසිට මුදල් වංචා කරලා !

මල්වතු මහනායක හිමි ලෙස පෙනීසිට මුදල් වංචා කරලා !

මල්වතු මහනායකහිමියන් ලෙස පෙනී සිටිමින් මහා පරිමාණයෙන් මුදල් වංචා සිදුකළ පුද්ගලයෙකු නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කරන ආකාරයට දුරකථන ඇමතුම් ලබාදී ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා පිටත්කර යැවීමට හැකි බව පවසමින් සැකකරු එම මුදල් වංචාව සිදුකර ඇත.

රුපියල් 137,000ක මුදලක් සැකකරු විසින් වංචනික ලෙස තමන්ගෙන් තබා ගත් බවට නුවරඑළිය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලක් මත පොලීසිය සිදුකළ විමර්ශනයක දී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු විසින් ජාතික පුවත්පත්වල පළවන ඉඩම් හා දේපළ විකිණීම් සම්බන්ධ දැන්වීම්වල සඳහන් පුද්ගලයන්ගේ දුරකථන අංකවලට ඇමතුම් ලබා දී තමන් මල්වතු විහාරයේ මහනායක ස්වාමින් වහන්සේ බවත් තමන්ගේ සහෝදරයා ඔස්ට්‍රේලියාවේ පදිංචි බවත් ඔහුට ඉඩමක් සහ නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය බවත් පළමුවෙන් පවසා තිබේ.

ඒ ආකාරයට පුද්ගලයා සමඟ හිතවත්කම ගොඩනගා ගන්නා සැකකරු ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්වරයා තමන්ගේ මිත්‍රයෙකු බව ද පවසා, ඒ අනුව අවශ්‍ය නම් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෙකු කිසිදු අයකිරීමකින් තොරව පහසුවෙන් ඔස්ට්‍රේලියාවේ ‍රැකියාවකට හෝ අධ්‍යාපන කටයුතු සඳහා යොමු කිරීමට හැකි බව පවසා ඇත.

අවශ්‍ය වන්නේ ලියාපදිංචි ගාස්තු වශයෙන් පමණක් රුපියල් 130,000ක මුදලක් බවත් පවසා එම මුදල සැකකරුගේ බැංකු ගිණුමකට බැර කරගෙන තිබේ.

මේ ආකාරයට සැකකරු විසින් පුද්ගලයින්ගෙන් මහා පරිමාණයෙන් මුදල් වංචා රාශියක් සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

බොහෝ අවස්ථාවලදී පුද්ගලයින් රැවටීම සඳහා මෙම සැකකරු විසින්ම ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස ද පෙනී සිට දුරකථන ඇමතුම් ලබා දී ඇති බව ද සැකකරුගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණව වී ඇත.

සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මුදල් ගෙන්වාගත් පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් ද සැකකරු විසින් ගෙන්වාගෙන ඇති අතර එමඟින් තවත් පුද්ගලයන් රැවටීම සඳහා සිම් පත් 100ත් 120ත් අතර ගණනක් මිලදී ගෙන ඇති බවය.

සැකකරු සතුව තිබී ජංගම දුරකථන 11ක්, ටැබ් යන්ත්‍රයක්, අන්තර්ජාල සැපයුම උපකරණ, බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කළ රිසිට්පත්, විවිධ නම්වලින් සකසන ලද නිල මුද්‍රා තොගයක් හමුව තිබේ.

මුදල් තැන්පත්කර ගැනීම සඳහා මෙම පුද්ගලයා විසින් ව්‍යාජ ජාතික හැඳුනුම්පත් කිහිපයක් භාවිත කරමින් බැංකු ගිණුම් 15කට ආසන්න ගණනක් සාදා ඇති අතර ව්‍යාජ ජාතික හැඳුනුම්පත් භාවිත කරමින් ඔහු විවාහයන් කිහිපයක් ද සිදුකරගෙන ඇති බව පොලීසිය පවසයි.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයකු වන සැකකරු නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් කේ.ඩී. විජේවික්‍රම වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න