කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් : ප්‍රධාන ගංඟාවල ජල මට්ටම් තවත් ඉහළට

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් : ප්‍රධාන ගංඟාවල ජල මට්ටම් තවත් ඉහළට

කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් දකුණු පළාත, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නිවේදනය නිකුත් කර ඇත.

එම ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස දැනුම් දෙමින් අද (02) දහවල් 12.30 සිට ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි එම නිවේදනය නිකුත් කර තිබේ.

නිරිතදිග මෝසම් සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවද එහි සදහන් වේ.

එමනිසා දකුණු පළාත සහ කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා තිබේ.

සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර පවතින වැසි තත්ත්වයත් සමග ගංඟා කිහිපයක ජල මට්ටම් තවදුරටත් ඉහළ ගොස් ඇත.

කැලණි ගඟේ ජල මට්ටම නාගලගම්වීදියෙන් සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කළු ගඟ පුටුපාවුල ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇත.

කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ කලවල්ලෑව ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් සහ නිල්වලා ගඟ තලගහගොඩ ප්‍රදේශයෙන් මෙන්ම පානදුගම ප්‍රදේශයෙන් ද සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර පවතින වර්ෂාව හමුවේ ප්‍රදේශ කිහිපයකින් ජල ගැලීම් ද වාර්තා වේ.

මාතර දිස්ත්‍රික්කයේ පවුල් 641 කට අයත් පුද්ගලයින් 2674 දෙනෙකු ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි වික්‍රමසිරි පැවසිය.

මීට අමතරව, අකුරැස්ස, තිහගොඩ, මාලිම්බඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ප්‍රදේශ කිහිපයක් ද ජලයෙන් යටව ඇතැයි වාර්තාවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න