Language Switcher

V2025

ජනාධිපති ලේකම් කාර්යාලය ජනපති අණ පිළිනොපදී!

ජනතා හිතවාදී විශිෂ්ට රජ්‍ය සේවයක් ලබා දීම සඳහා ඉහළම දායකත්වයක් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම්වරයා මඟින් ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලූම නිලධාරීන් දැනුවත් කර ඇතත් අදාළ උපදෙස් ජනාධිපති ලේකම් කාර්යාලයේ බහුතරයක් නිලධාරීන් ඉටු නොකිරීම පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු වී ඇති බව ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

මහජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම්වල දී ඍජුවම විසඳුම් ලබා දිය හැකි කරුණු පිළිබඳව නොපමාව ප්‍රතිචාර දක්වන ලෙසත් එසේ කළ නොහැකි සෑම අවස්ථාවකම අදාළ පුද්ගලයන්ට ඒ බව දැනුම් දෙමින් හා අදාළ විසඳුම් සති 3 ක් ඇතුළත ලබා දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකවම ජනාධිපති ලේකම් කාර්යාලීය නිලධාරීන්ට වෙනම දැනුම් දීමක් කර ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

එහෙත් එම උපදෙස් බොහොමයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ බොහෝ අංශ මඟින් ඉටු නොවන බව ද ජනාධිපති ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

 ලිපිවලට කිසිදු පිළිතුරක් නැහැ :

 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මහජනතාව විසින් ජනාධිපතිවරයා වෙත යොමුකරන ඉල්ලීම් ඉහළ ගොස් ඇතත් එම ඉල්ලීම්වලට මූලික ප්‍රතිචාර දැක්වීමට පවා සය මසකට ආසන්න කාලයක් ගත වෙමින් පවතින අතර ඇතැම් ලිපිවලට කිසිදු පිළිතුරක් හෝ යොමු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් කටයුතු නොකරන බව ද වාර්තා වේ.

ජනතා හිතවාදී විශිෂ්ට රාජ්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉහළම ප්‍රතිචාරයක් දක්වන ලෙසට ජනාධිපතිවරයා ලබා දී ඇති උපදෙස් ජනාධිපති ලේකම් කාර්යාලය තුළින්ම කඩ කිරීම පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාල සහකාර ලේකම්වරයකුගෙන් කළ විමසීමක දී සිය අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලා සිටිමින් ප්‍රකාශ කළේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත දෛනිකව අතිවිශාල ලිපි ප්‍රමාණයක් ලැබෙමින් පැවතීමත් ඒ සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීමට විධිමත් යාන්ත්‍රණයක් හා පහසුකම් නොමැතිකමත් ඊට ප්‍රධාන හේතුවක් බවය.

 සාම්ප්‍රදායික නීති රීති හා සිතුවිලි

මේ පිළිබඳව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගෙන් කළ විමසීමක දී ප්‍රකාශ කළේ රාජ්‍ය සේවයේ පවත්නා සාම්ප්‍රදායික නීති රීති හා සිතුවිලි බැහැර කරන තුරු මහජනතාවට විශිෂ්ට රාජ්‍ය සේවයක් ලබා දීම සිහිනයක් වන බවය.

(සත්හඬ)