ලංකාවට මැලේසියානු සහාය....

ලංකාවට මැලේසියානු සහාය....

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ ඉල්ලුමට මැලේසියාව සහාය වනු ඇති බව මැලේසියානු විදේශ කටයුතු අමාත්‍ය Dato Seri Diraja Dr Zambry Abd Kadir  පවසයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  සහ මැලේසියානු විදේශ කටයුතු අමාත්‍ය Dato Seri Diraja Dr Zambry Abd Kadir  අතර හමුවක් අද (09) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණී.

RCEP වෙත ශ්‍රී ලංකාව ඇතුළුවීමෙන් මෙරට පුළුල් අග්නිදිග ආසියානු කලාපය තුළ සිය ආර්ථික සම්බන්ධතාව ශක්තිමත් කරගතහැකි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර මැලේසියානු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වෙමින්, “ශ්‍රී ලංකාව අපේ කලාපයට අයත්” බව ප්‍රකාශ කළේය. මෙම ආර්ථික ඉදිරි දර්ශනයේ ප්‍රගතිය සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා, ඉන්දු-පැසිෆික් කලාපය සඳහා අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය ( ASEAN) හි අනාගත දැක්ම සමඟ පෙළගස්වන බව මෙහිදී තහවුරු කළේය.

වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ඉන්දියානු සාගර කලාපීය රටවල සංගමය (IORA) වැනි කලාපීය කණ්ඩායම්වල සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. වර්ධනය වන සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය සහ ඖෂධ කර්මාන්තය තුළ ශ්‍රී ලංකාවේ නව ආයෝජන ක්ෂේත්‍රවලට පිවිසෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මැලේසියානු ව්‍යවසායකයින්ට ආරාධනා කළේය. මැලේසියාව මෑත වසරවල ශ්‍රී ලංකාවේ ඉහළම 6 වැනි ආයෝජන හවුල්කරුවා විය.

පසුගිය වසරේ ආර්ථික අර්බුදයේදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා මැලේසියානු රජයට ස්තුතිය පුද කළේය. ශ්‍රී ලංකාව සමඟ පවතින ඉහළ මට්ටමේ සම්බන්ධතා, ඓතිහාසික සම්බන්ධතා, මානව සම්බන්ධතා අතර භූගෝලීය සමීපත්වය සහ ගැඹුරු මිත්‍රත්වය පිළිබඳව සඳහන් කරමින් අමාත්‍ය සැම්බ්‍රි ඇබ්ඩ් කඩීර් (Zambry Abd Kadir) මහතා, ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව ඉහළ නැංවීමට තම රජය අපේක්ෂා කරන බව පැවසීය.

මැලේසියානු දූත පිරිසට සහකාර මහලේකම්වරුන් වන Dato Syed Mohamed Bakri Syed Abdul Rahman සහ Ahmed Kamrizamil Reza, මහ කොමසාරිස් Badli Hisham Adam ඇතුළත් වූ අතර රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන අය මෙම අවස්ථාවට එක්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න