බෝට්ටුවෙන් ඉන්දියාවට යමුද?

බෝට්ටුවෙන් ඉන්දියාවට යමුද?

ඉන්දියාවේ නාගපට්ටිනම් සහ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව හෙට (ඔක්. 10) සිට ක්‍රියාත්මක වන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල පවසයි.

ඒ අනුව, ඊට අදාළ අත්හදා බැලීම් චාරිකාවක් ඊයේ (ඔක්. 8) දින සිදු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ, ‘චෙරියපානි’ නම් එම මගී යාත්‍රා සේවාව හෙට දින දහවල් 12:30ට නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරේ වරායට සේන්දු වීමට නියමිත බව ය.

ප්‍රථම මංගල චාරිකාවට මගීන් 50කට ආසන්න ගණනක් පැමිණෙන බව ත් යාත්‍රාව එදින ම පස්වරු 4:00ට නාගපට්නම් බලා යාත්‍රා කිරීමටත් නියමිත බව ත් එම අමාත්‍යංශය පැවසීය.

ඉන්දියානු නැව් සංස්ථාවට (S.C.I) අයත් දිගින් මීටර් 35ක් සහ පළලින් මීටර් 9.6 වූ අධිවේගී ⁣”චෙරියපානි” යාත්‍රාවෙන් මගින් 150ක් රැගෙන යාමට හැකියාව තිබේ.

නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ වරායට යාත්‍රා කිරීමට පැය 04ක් පමණ කාලයක් ගතවන අතර එක් ගමන් වාරයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 26,750ක් ද, යන එන ගමන් වාර දෙකක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 53,500ක් ද අය කරනු ලබයි.

ඒ වෙනුවෙන් එක් මගියෙකුට කිලෝ 50 බරකින් යුතු භාණ්ඩ රැගෙන යා හැකි බව මගී යාත්‍රා සේවා හිමියන් ප්‍රකාශ කළ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පැවසීය.

මෙම යාත්‍රා සේවාවේ මෙහෙයුම් සහ අලෙවි කටයුතු ශ්‍රී ලංකාවේ සමාගමක් වන ආශා නියෝජිත පෞද්ගලික සමාගම (Asha Agency Ltd ) විසින් සිදුකරනු ලබන අතර යාපනය නගරයේ ද ගමන් ප්‍රවේශ පත් අලෙවි නියෝජිතයෙකු පත් කර ඇති බව එම සමාගම සඳහන් කර ඇත.

මෙම යාත්‍රා සේවා මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන 450ක වියදමකින් නවීන පහසුකම්වලින් සමන්විත මගී පර්යන්තයක් ඉදිකර කරනු ලැබ ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම පර්යන්තය තුළ ආගමන විගමන රේගු ,සෞඛ්‍ය සේවා ඇතුළු සියලු යටිතල පහසුකම් සැලසීමට කටයුතු කර තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න