විදෙස් අමාත්‍යවරුන් දෙදෙනෙකු ජනාධිපති රනිල් හමුවෙයි !

විදෙස් අමාත්‍යවරුන් දෙදෙනෙකු ජනාධිපති රනිල් හමුවෙයි !

ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය (Anne-Marie Trevelyan) සහ දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර්  (Dr. Naledi Pandor) අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා පැවැත්වීය.

එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන්  (Anne-Marie Trevelyan) පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හමු වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ඇතුළු මාතෘකා රැසක් පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක් විය.

සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ පනත් කෙටුම්පත, මාර්ගගත ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පත සහ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඇතුළු ප්‍රධාන නීති සම්පාදන කටයුතුවලදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

ශ‍්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙහිදී රාජ්‍ය අමාත්‍යවරිය දැනුවත් කළ අතර එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල ද මේ සඳහා එක්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද පැවසීය.

අනතුරුව දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූවාය.

සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ කටයුතු වැඩිදියුණු කිරීම සඳහා දකුණු අප්‍රිකාව ලබාදුන් සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී අමාත්‍යවරිය වෙත සිය කෘතඥතාව පළ කළ අතර නුදුරේදීම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, වසර අවසන් වීමට පෙර එය බලාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අනාගතය පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ශ්‍රී ලංකාව සභාපතීත්වය දරනු ලබන කාලසීමාව තුළ ඉන්දියන් සාගරය පිළිබඳ තම දැක්ම වූයේ කලාපයේ අනන්‍යතාව ශක්තිමත් කිරීම බව සඳහන් කළේය.

සෑම වසර දෙකකට වරක් සාමාජික රටවල රාජ්‍ය නායක රැස්වීමක් පැවැත්වීමට තමා යෝජනා කරන බවත්, ඉන්දියන් සාගරයට තමන්ගේම දේශපාලන අනන්‍යතාවයක් පවතින බවත් ජනාධිපතිවරයා පැවසීය.

ඊශ්‍රායල - හමාස් ගැටුම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊශ්‍රාලය සහ පලස්තීනය අතර සාමය තහවුරු කළ යුතු බවට අප්‍රිකානු සංගමය විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය සහාය පළ කරන බව ප්‍රකාශ කළේ ය.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව සමඟ ශ්‍රී ලංකාව සිය සහයෝගිතාව පුළුල් කර ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20231010 WA0028

IMG 20231010 WA0029

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න