Language Switcher

V2025

ලෝක උරුමයන් ලෙස මෙරට නව ස්ථාන 10ක් හඳුනාගැනේ

2023 වසරේ මැයි 24 වන දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දෙන ලද නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ජා කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙදින කාරක සභාව හමුවට කැඳවා තිබුණි.

රට තුළ තිබෙන සියලු පුරාවිද්‍යා ස්ථාන සිතියම් ගත කිරීම හා ඒවා වෙබ් අඩවියට ඇතුළත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාව විමසීමක් කරන ලදී.

මේ වනවිට පුරාවිද්‍යා ස්මාරක 1565ක ප්‍රමාණයක් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙන බව නිලධාරීහු කාරක සභාවට පැවසූහ.

මේ වන විට රට පුරා හඳුනාගෙන ලේඛන ගත කර ඇති පුරාවිද්‍යා ස්මාරක ප්‍රමාණය 5664ක් වන බවත් ඉන් 2773ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බවත් කාරක සභාවේදී අනාවරණය විය.

ගැසට් මගින් ප්‍රකාශට පත්කළ පුරාවිද්‍යා ස්මාරක ආරක්ෂා කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම්බන්ධ කර ගනිමින් බිම් මට්ටමින් ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කරන ලෙසට කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

ලෝක උරුමයන් ලෙස නම් කිරීමට යුනෙස්කෝ ආයතනයට යෝජනා කිරීම සඳහා මේ වන විට ස්ථාන 10ක් හඳුනාගෙන ඇති බව පුරාවිද්‍යා නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව එම ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාවට වාර්තාවක් ලබා දෙන ලෙසට සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

මේ අතර ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශයතුල පවතින මුහුදු පුරා වස්තු 114ක් හඳුනාගෙන ඒවායේ සියලු තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් පවත්වාගෙන යන බව නිලධාරීහු කමිටුව ඉදිරියේ කරුණු ඉදිරිපත් කළහ. ගොඩබිම තුළ ස්මාරක ලෙස පමණක් පවතින පුරා වස්තු ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ හැකි වුවත් මුහුදු පුරාවස්තු ගැසට් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව නිලධාරීන් ප්‍රකාශ කළ අතර, කාරක සභාව උපදෙස් ලබාදුන්නේ අදාළ ගැටලුව සම්බන්ධයෙන් පනත විමර්ශනය කර ගැසට් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මෙහිදී රටතුළ සිදු කරන පුරාවිද්‍යා කැණීම් ප්‍රමාණයන් හා අදාළ සියලු විස්තර පිළිබඳ යාවත්කාලීන වූ දත්ත පද්ධතියක් පවත්වාගෙන යන්නේදැයි කාරක සභාව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. කෙසේ වෙතත් කාරක සභාව ලබාදුන් නිර්දේශ මත, එම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සිදු නොවන බවයි අනාවරණය වූයේ. ඒ පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව අදාළ නිලධාරීහු කමිටුව හමුවේ පැවසූහ.

අත්තනගල්ල පාරුව සංරක්ෂණය කිරීමේ ප්‍රගතිය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය. ඒ අනුව අදහස් දැක්වූ පුරාවිද්‍යා නිලධාරීහු එම අත්තන ගල්ල පාරුව වසර දහසකට වඩා පැරණි බව පෙන්වා දුන්හ. ඒ සඳහා වන කාබන් නිර්ණයද සිදුකර ඇති බවත්, එහි ඇතැම් කොටස් නැවත ප්‍රතිසංස්කරණය සිදු කළ හැකි බව කාරක සභාව හමුවේ අදහස් දක්වමින් එම නිලධාරීහු පැවසුහ.

කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

මෙම අවස්ථාව සඳහා කාරක සභාවේ සාමාජිකයින් වන රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන අශෝක් අබේසිංහ, නිරෝෂන් පෙරේරා, ජේ. සී. අලවතුවල, මුදිතා ප්‍රිශාන්ති, මංජුලා දිසානායක, ප්‍රදීප් උඳුගොඩ, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන යන අය ඇතුලු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.