අස්වැසුම කඩිනමින් ගන්න : ඉක්මනින් බැංකු ගිණුම් විවෘත කරන්න !

අස්වැසුම කඩිනමින් ගන්න : ඉක්මනින් බැංකු ගිණුම් විවෘත කරන්න !

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ප්‍රදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රදර්ශනය කළ නාම ලේඛනයේ නම් ඇතුළත් වූ නමුත්, මෙතෙක් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත නොකළ සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මණින් තම බැංකු ගිණුම විවෘත කර ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ හිමි කර ගැනීමට කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න දැනුම් දෙයි.

නියමිත පරිදි බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන් 156,261කට අදාළ ගෙවීම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ඔහු සඳහන් කරයි.

ජයන්ත විජේරත්න  මේ බව සඳහන් කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ ප්‍රධානත්වයෙන් අස්වැසුම වැඩසටහන පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශව සමඟ පසුගිය දා ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය.

පූර්ණ විනිවිදභාවකින් යුක්තව වඩාත් සුදුසුම පාර්ශවයන් වෙත සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබා දීම අරමුණු කරගනිමින් ඇරඹි අස්වැසුම වැඩසටහනෙහි වත්මන් තත්ත්වය පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා පසුගිය ජූලි මාසයට අදාළ ප්‍රතිලාභ පියවර 05ක් යටතේ ඔක්තෝබර් මස 16 වනදා වන විට, පවුල් 1,230,097ක් සඳහා රුපියල් 7,705,302,250.00 ක මුදලක් ගෙවා අවසන් බවත් , ජූලි මාසයට අදාළ ඉතිරි කොටස්වල ගෙවීම් දෙසැම්බර් මාසය වන විට ගෙවා අවසන් කිරීමට නියමිත බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා මෙහිදී සඳහන් කළේය.

අභියාචනා සහ විරෝධතා පරීක්ෂණ අවසන් නොවීම ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් තවත් ප්‍රතිලාභීන් පිරිසකට අදාළ ගෙවීම් සිදු කිරීම ප්‍රමාද වී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර එහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ එම ප්‍රමාදයන්ට හේතු වී ඇති කරුණු සොයා බලා ප්‍රතිලාභ ගෙවීම් කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙසයි.

ප්‍රතිලාභීන් ලක්ෂ දෙකකට පමණ ගෙවීම් සිදු කිරීමට නොහැකිව ඇත්තේ මේ වන තුරු ඔවුන් බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් බවත් එබැවින් ඔවුන් ගිණුම් විවෘත කළ වහාම කිසිදු ගැටළුවකින් තොරව අදාළ ගෙවීම් සිදු කළ හැකි බවත් ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේය.

තවද අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම පරිගණක පද්ධතියෙන් නිකුත් කරනු ලබන ලිපිය ඉදිරිපත් කර තම ප්‍රදේශයේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන ඕනෑම බැංකු ශාඛාවකින් අස්වැසුම ප්‍රතිලාභීන්ට තම බැංකු ගිණුම විවෘත කිරීමේ හැකියාව පවතී. අනතුරුව එම ගිණුම් විස්තර අදාළ බැංකුව විසින් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත යොමු කරනු ලැබේ.
ජාතික හැඳුනුම්පත් නොමැති වීම හේතුවෙන් බැංකු ගිණුම් විවෘත කිරීමට නොහැකි අස්වැසුම අයදුම්කරුවන්ට මාස 06ක් තුළ ජාතික හැඳුනුම් පත් ඉදිරිපත් කිරීමේ කොන්දේසිය මත ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැකුව විසින් ලබා දී තිබේ.

එසේම අස්වැසුම වැඩසටහනේ කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ශක්තිමත් ඒකකයක් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධානයට යොමු වූ අතර, දෙසැම්බර් මාසයේ අවසානය වන විට ප්‍රතිලාභ ගෙවීම් කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇති බැවින් ඒ සඳහා විශේෂ වැඩ සතියක් ප්‍රකාශයට පත් කිරීමට ද යෝජනා කෙරිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න