මත්ද්‍රව්‍යට වැට බඳින නව බල අධිකාරියක් ගැන සාගල කියයි !

මත්ද්‍රව්‍යට වැට බඳින නව බල අධිකාරියක් ගැන සාගල කියයි !

විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ‘මත්ද්‍රව්‍ය විරෝධී’ බලඅධිකාරියක් ( Anti-Narcotic Command) ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.

ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය බුද්ධි සේවාව එක්ව විදෙස් බුද්ධි සේවාවන්ද සම්බන්ධ කර ගනිමින් අදාළ වැටලීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙමඟින් හැකියාව ලැබෙන බව ද සාගල රත්නායක  පෙන්වා දුන්නේය.

සාගල රත්නායක  මෙම අදහස් පළ කළේ පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් බිලියන 4 ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 200ක ප්‍රමාණය කොළඹ වරායට අද (24) රැගෙන ආ අවස්ථාවේ එය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සමුද්‍රාරක්ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91 (කිලෝ මීටර් 168) දුරින් ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකින් මෙම හෙරොයින් තොඟය අත්අඩංගුවට ගෙන මෙලස කොළඹ වරායට ගෙනවිත් තිබිණි.

මෙම ‘මත්ද්‍රව්‍ය විරෝධී’ ඒකකය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස් කරමින් තිබෙන බවත් ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සාගල රත්නායක  සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය පිළිබඳ වැටලීම් සිදු කරමින් අත්අඩංගුවට ගනු ලබන්නේ 65% ක් තරම් වන ප්‍රමාණයක් බවත් ඉතිරි 35%ක ප්‍රමාණය රටට ගෙන එනු ලබන බවත් පෙන්වා දුන් සාගල රත්නායක, මත්ද්‍රව්‍ය රටට ඇතුළුවීම සම්පූර්ණයෙන් වැළැක්වීම සඳහා නවීන වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද පැහැදිලි කළේය.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මෙසේද පැවසීය .

හෙරොයින් කිලෝ 200 ක තරම් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නාවික හමුදාපතිතුමා ඇතුළු නාවික හමුදාවටත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්‍යංශයටත් මා පළමුවෙන්ම සුබ පතනවා. පසුගිය දින කිහිපය තුළ මෙවැනි විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනුණු දෙවැනි අවස්ථාව මෙයයි. පළමු අවස්ථාවේදී වැටලීම සිදු කළේ පොලිස් මත්ද්‍රව්‍ය‍ කර්යාංශයේ තොරතුරකට අනුවයි. රාජ්‍ය බුද්ධි සේවය ලබා දුන් තොරතුරු අනුව නාවික හමුදාව විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ලෝකය පුරා විශාල ජාලයක් ලෙස පැතිර තිබෙනවා.

මත්ද්‍රව්‍ය උවදුරෙන් සිය ජනතාව බේරා ගැනීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. නාවික හමුදාව, පොලිසිය ඇතුළු අනෙක් රාජ්‍ය ආයතන සමඟ එක්ව ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරනවා. මේ වැටලීම් සිදුකර අත්අඩංගුවට ගනු ලබන්නේ ශ්‍රී ලංකාවට ඇතුල් වන මත්ද්‍රව්‍යවලින් 65% ක් වගේ ප්‍රමාණයක්. ඉතිරි 35%ක ප්‍රමාණය රටට රැගෙන එනු ලබනවා.

දැනට තිබෙන තොරුතුරුවලට අනුව විශාල නෞකාවලින් ජාත්‍යන්තර මුහුදු සීමාවට මෙම මත්ද්‍රව්‍ය තොග ගෙනැවිත් කුඩා බෝට්ටු භාවිතා කරමින් රට තුලට ගෙන එනු ලබනවා. මත්ද්‍රව්‍ය ජාලය විශාල ලෙස පැතිර තිබෙනවා.

‍අනෙක් කරුණ වන්නේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් අතර ආයුධ වෙ‍ෙළඳාමත් සිදු වෙන්න පුළුවන්. මේ පිළිබඳවත් දැඩි අවධානයෙන් සිටිය යුතුයි. එය ජාතික ආරක්ෂාවට පවා ප්‍රශ්නයක් විය හැකියි. ඒ නිසා මේ පිළිබඳ නව නීති ගෙන ඒමට අවශ්‍යයි. මේ වන විට මත්ද්‍රව්‍ය විරෝධි ඒකකයක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා. ඒ සම්බන්ධව නීති සකස් කරමින් සිටිනවා. එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් බලාත්මක කිරීමට කටයුතු කරනවා.

නාවික හමුදාපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා  ඇතුළු නාවික හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20231024 WA0006

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න