ජනපති චීන විශේෂ නියෝජිතවරියක අතර හමුවක් !

ජනපති චීන විශේෂ නියෝජිතවරියක අතර හමුවක් !

මෙරටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී ශෙන් යික්න් (Shen Yiqin) ඇතුළු දුත පිරිස අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඇතුළුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය ලබාදෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාට සහ රජයට සිය ස්තූතිය පිරිනැමීය.

එසේම සංචාරක, ක්‍රීඩා සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම ශ්‍රී ලංකාවේ අභිලාෂය බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට වරාය සහ වරාය නගරය මේ වන විට ආයෝජන සඳහා සූදානම්ව පවතින බවද සඳහන් කළේය.

එක් තීරයක් - එක් මාවතක් (Belt & Road) වැඩසටහනේ පාර්ශ්වකරුවන් වූ ශ්‍රි ලංකාව වැනි රටවල් ආර්ථික වශයෙන් වැඩි දායකත්වයක් ලබාදෙන එම වැඩසටහනේ දෙවන අදියරට පිවිසීමට සූදානමින් සිටින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) වෙත ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළේය.

ඉන්දියන් සාගරය නාවික කටයුතු සම්බන්ධයෙන් නිදහස් කලාපයක් ලෙස මෙන්ම ලෝක භූ දේශපාලන එදිරිවාදිකම්වලින් මිදී පවතින සාම කලාපයක් ලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

චීන - මියන්මාර් ආර්ථික කොරිඩෝව ශ්‍රී ලංකාව දක්වා දීර්ඝ කිරීම පිළිබඳව ද චීනයේ අවධානය යොමුව ඇතැයි විශේෂ නියෝජිතවරිය මෙහිදී පැවසුවාය.

චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවකට එළැඹිණි.

චීනය අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව මෙහිදී යළි තහවුරු කළ ශෙන් යික්න් මහත්මිය දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට කැපවන බවද අවධාරණය කළාය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න