ඩෙංගු මර්දන මෙහෙයුම පුළුල් කිරීමට සාගලගෙන් තවදුරටත් උපදෙස්

ඩෙංගු මර්දන මෙහෙයුම පුළුල් කිරීමට සාගලගෙන් තවදුරටත් උපදෙස්

කොළඹ උතුර සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඩෙංගු මර්දනය සාර්ථක කර ගැනීමට ඉවහල් වූ වොල්බැකියා (Wolbachia) විශේෂ ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි ඩෙංගු ව්‍යාප්තිය බහුල සියළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලද ක්‍රියාත්මක කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක  අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඒ සඳහා තවදුරටත් ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සහාය ලබා ගන්නා ලෙස පැවසූ ඔහු රාජ්‍ය ආයතනවල ඩෙංගු මර්ධනය සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතන වෙත වගකීම් පවරන ලෙසද සඳහන් කළේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක  මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ පැවති ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

විශේෂයෙන් බස්නාහිර පළාත තුළ ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක් පෙන්නුම් කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කෙරෙහි අවධානය යොමු කරමින් එම ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය කාල පරිච්ඡේදය තුළ ගන්නා ලද ක්‍රියාමාර්ග හා ඒවායේ ප්‍රගතිය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද විවිධ දැනුවත් කිරීමේ හා අධීක්ෂණ ක්‍රියාමාර්ග නිසා ඩෙංගු ව්‍යාප්තිය සැළකිය යුතු තත්ත්වයකින් පාලනය වී ඇති බවත් එම වැඩසටහන් ඉදිරි සතිවලද තවදුරටත් ක්‍රියාත්මක කිරීම තුලින් තවදුරටත් ව්‍යාප්තිය පාලනය කළ හැකි බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන් Zoom තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීමට සහභාගී වූ අතර රාජ්‍ය ආයතන, පාසැල්, ආගමික ස්ථාන, පොදු ස්ථාන හා පෞද්ගලික ආයතන ආශ්‍රිතව ඩෙංගු රෝගය ව්‍යාප්තිය වැඩි වී තිබූ බව ඔවුහු සඳහන් කළහ.

මහනුවර මහ නගර සභා සීමාව හා මාතලේ මහ නගර සභා සීමාවන් තුළ තවදුරටත් සැළකිය යුතු මට්ටමින් රෝගීන් වාර්තා වන බව සඳහන් කළ මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන් එම තත්ත්වය පාලනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ සහාය ඇතිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සැළසුම් කර ඇති බව සඳහන් කළේය.
මධ්‍යම පළාතේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර හා ප්‍රධාන ලේකම්වරයා ගේ ප්‍රධානත්වයෙන් පළාතේ සියළුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ආවරණය වන පරිදි පිහිටුවා ගන්නා ලද කමිටුවක් මගින් සියළු අධීක්ෂණ කටයුතු සිදුවන බවත් දැනට ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරමින් ව්‍යාප්තිය පාලනය සඳහා කටයුතු කරන බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් සියළුම පාසල් දැනුවත් කර දෙමව්පියන්ගේ මැදිහත්වීමෙන් පාසැල් පරිශ්‍රයන් පිරිසිදු කර ඡායාරූප සමඟ වාර්තා කරන ලෙස අදාල අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙස දැනුම් දුන් සාගල රත්නායක  2024 ජනවාරි මස මුල් සතියේදී මෙම වැඩසටහන් පිළිබඳ ප්‍රගතිය නැවත සමාලෝචනය කිරීමට ද යෝජනා කළේය.

ආරක්ෂක අමාත්‍යාංයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් සහ අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න