Language Switcher

V2025

ඈන් කුමරිය දිවයිනට

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සදහා අද (10) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත සැපත් වූවාය .

ඇය මෙම සංචාරය සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක් තෝරා ගෙන තිබූ අතර අද පස්වරු 01.06 ට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

එතුමිය සමග ඇයගේ වල්ලභ කුමරු ඇතුළු 07 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පැමිණ සිටියහ .

මෙම පිරිස පිළිගැනීම සදහා අමාත්‍ය අලි සබ්‍රි , සීතා අරඹෙපොළ , ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ මීගමුව හරිස්චන්ද්‍ර , නිවුස්ටෙඩ් බාළිකා , විජයරත්නම් සහ අල් හිල්ලාල් ජාතික පාසැල් වල කුඩා සිසුන් පිරිසක් සහ උඩරට – පහතරට විවිධ නැටුම් අංග නියෝජනය කරමින් විශාල නැටුම් ශිල්පීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා අංගය වෙත පැමිණ සිටියහ .

ගුවන් යානයෙන් බැස ගත් ඈන් කුමරිය රතු පළස දිගේ පැමිණ , ගුවන් තොටුපොළ රන් සමරු සටහන් පොතේ ( Golden Book ) හි සටහනක් තබා ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත සම්ප්‍රාප්ත වූවාය .

එහිදී පැවැත් වූ තේ පැන් සංග්‍රහයකින් පසු විශේෂ රිය පෙරහැරකින් කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ පිහිටි ඇගලුම් කම්හලක් නිරීක්ෂණයට ද පැමිණියාය .