Language Switcher

V2025

නව වසරේදී විදෙස් සංචාරකයන් ලක්ෂ 23ක් ගෙන්වා ගැනීම ඉලක්කයයි - ඇමති හරීන්

ගෝලීය වශයෙන් විවිධ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් උදාවූ නව වසරේදී විදෙස් සංචාරකයන් ලක්ෂ 23ක් ගෙන්වා ගැනීමේ ඉලක්කය ජයගැනීමට සැලසුම්ස හගතව වැඩසටහන් ක්‍රියාවට නංවන බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු  පවසයි.

මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට 33ක් නැවත නැවත මෙරට සංචාරය කරන්නන් බව ද ශ්‍රී ලංකාවට දක්වන ආදරය, ළෙන්ගතු බව හේතුවෙන් ඔවුන් මෙරටට පැමිණෙන බව ද පෙන්වා දෙයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කොල්ලුපිටියේ පිහිටි සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේදී පෙරේදා (11) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් හරීන් ප්‍රනාන්දු  මෙසේද පැවසීය.

“අද අපේ රට තිබෙන තත්ත්වය අපි දන්නවා. විශාල වශයෙන් චෝදනා එල්ල වෙනවා ජීවන වියදම් සම්බන්ධයෙන්. වැට් බද්ද සම්බන්ධයෙන් කතා කරනවා. ඒ බද්දෙන් විශාල වශයෙන් බලපෑමක් එල්ල වෙලා තිබෙන්නේ සංචාරක ක්ෂේත්‍රයට. විදෙස් සංචාරකයන් ගෙන්වන සමාගම්වලට මීට පෙර වැට් බද්දක් තිබුණේ නැහැ. එම සමාගම්වලට බිංදුවේ සිට 18 දක්වා බද්දක් අය කෙරෙනවා. ඒ නිසා විශාල වශයෙන් ලාභයේ පහළයෑමක් වෙනවා. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟත් සාකච්ඡා කර මේක එක්වරම කළ නොහැකි දෙයක් යන්න පැහැදිලි කර දෙනවා. ඇතැම් තැන්වල වෙනස්කම් කරන්න වෙනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සම්බන්ධයෙන් සාධනීය ලෙස බලයි කියා විශ්වාස කරනවා.

අපි එන විට භාණ්ඩාගාරය බිංදුවට වැටිලා තිබුණේ. නමුත් අද වන විට ඩොලර් බිලියන 4.4 ට වැඩි සංචිත ප්‍රමාණයක් අපේ රටේ තිබෙනවා. මේ වෙනුවෙන් යම්කිසි වැඩ කොටසක් අපි කළා. අද වන විට ලෝකයේ සෑම ගුවන් සේවයක්ම අපේ රටට එනවා. පසුගිය කාලයේ මෙරටට පැමිණි ගුවන් ගමන් වාර සංඛ්‍යාවට සාපේක්ෂව විශාල ගමන් වාර සංඛ්‍යාවක් ක්‍රියාත්මකයි. තවත් ගුවන් සේවා එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 2023 වසරේ මුල් කාලයේ අපේ ඉලක්කය වුණේ විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක්. එම ඉලක්කයට යන්න නොහැකි වුණේ ඊශ්‍රායල් – පලස්තීන යුද ගැටුම් නිසා. ඒ නිසා ඒ රටවලින් මෙරටට පැමිණෙන ගුවන් ගමන් නැවතුණා. ඒවා පැමිණියා නම් ලක්ෂ 16 ක පමණ ඉලක්කයකට යන්න තිබුණා. මේ සියලු අභියෝග හමුවේ ශ්‍රී ලංකාව ලෝකයට පණිවිඩයක් දුන්නා රට සංචාරක රාජ්‍යයක් ලෙස නිවැරැදිව ස්ථානගත කර ගන්න හැකියාව ලැබී තිබෙන බවට.

වසර 15ක සිට ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ප්‍රවර්ධන වැඩසටහනක් කර නැහැ. ලංකාවට එන සංචාරකයන්ගෙන් සියයට 33ක් එන්නේ නැවත නැවත එන අයයි. ලංකාවට තිබෙන ආදරය, බැඳියාව නිසා මෙලෙස නැවත නැවත එනවා. ඒකට හරියන ප්‍රවර්ධන වැඩසටහනක් සහ නිෂ්පාදනයක් අපි කරගෙන යනවා. ලංකාව නාවික ගමනාන්තයක් බවට පත් කරන්න 2024දී අපේක්ෂා කරනවා. ලෝකයේ සංචාරය කරන්න පුළුවන් හොඳම නගර 50න් 16 වැනි තැනට මීගමුව පැමිණ ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා. ලංකාවේ අලුත්ම ස්ථාන කීපයක් අපි මේ වසරේ නම් කරනවා. ඒ වටා සංචාරක කර්මාන්තය දියුණු කරන්න බලනවා.

හිඟුරක්ගොඩ, මඩකලපුව, චයිනාබේ ගුවන් සේවා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව ගුවන් හමුදාව සමඟත් සාකච්ඡා කරනවා. ඒ වගේම බෝට්ටු සේවාව ද ආරම්භ කරනවා . දෙවැනි ලෝක යුද සමයේ ශ්‍රී ලංකාව අවට මුහුදේ ගිලුණු නැව් 143ක් පමණ බලන්න සංචාරකයන්ට අවස්ථාව දෙනවා. ඒ වගේම අපි අලුත් වෙළඳ පොළ වෙත යන්නත් සැලසුම් කර තිබෙනවා. ඔස්ට්‍රේලියාවට යන්න ජපානයට කොරියාවට යන්න අවශ්‍යයයි. නිදහසින් පසු වසර 75ක කාලය ගත් විට අපේ රට අරාජික, බංකොලොත් රාජ්‍යයක් බවට පත්වන්න එක් හේතුවක් තිබෙනවා. ඒ හේතුව මේ රටේ දේශපාලනයයි. එහෙම වුණේ අපේ දේශපාලනඥයන් ඡන්දය දිනන්න හැමදාම මිනිසුන්ට නිකම් දෙන්න පොරොන්දු දුන්නා.

බදු නොමැතිව මේ රට දුවන්න බැහැ. බදු නැතිව දුවන්න නම් ආදේශනය කුමක්ද ? එහෙම ආදේශනයක් කිසිවකු හෝ ඉදිරිපත් කරනවා නම් ඒක පිළිගන්න අපි සූදානම්. ලාභය අඩු නම් වියදම් කළමනාකරණය කරන්න ඕනෑ. අද වන විට හෝටල්වල ඉතිහාසයේ වැඩිම ආදායම 2023 වසරේදී ලබාගෙන තිබෙනවා. කොළඹට එන සංචාරකයන් වෙනුවෙන් වෙනම ස්ථාන ස්ථාපිත කරන්න පියවර ගෙන තිබෙනවා. පෙබරවාරි 05දා 20,000කට ඉඩම් ඔප්පු දෙන්න බලාපොරොත්තු වෙනවා. මිලියන දෙකක ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනේ පළමු පියවර ලෙස මෙය රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පවත්වන්න බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු  ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.