Language Switcher

V2025

රට ගොඩදාන්න ජනපති දුන් නායකත්වය උගන්ඩා ජනපතිගේ ඇගයීමට

උගන්ඩාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවේනි (Yoweri Museveni)  අතර නිල හමුව ඊයේ (20) පස්වරුවේ සිදු විය.

මෙහිදී උගන්ඩා ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව ඉතා මිත්‍රශීලි ලෙස පිළිගත් අතර නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

තම ආරාධනය අනුව උගන්ඩා නිල සංචාරයට එක්වීම පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත සතුට පළ කළ උගන්ඩා ජනාධිපති යොවේරි මුසෙවේනි වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබා දුන් නායකත්වය අගය කළ අතර ඊට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු බව ද කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට එළැඹීමෙන් පසුව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට යමින් සිටින බවත්, 2024 වසරේ නව වර්ධනයක් සමඟ අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කරමින් සිටින බවයි.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි  ද මෙහිදී අදහස් දැක්විය.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීම ඉතා සංකීර්ණ කාර්යයක් වූ අතර ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව ලබාදිය යුතු බව ශ්‍රි ලංකාවේ බොහෝ මධ්‍යස්ථ මතධාරීන්ගේ මතය වු බව ඒ මහතා සිහිපත් කළේය. ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපතිවරයා ඉතා කෙටි කලක් තුළ ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාව අද ආර්ථික ස්ථාවරත්වයක් උදා කර ගෙන ඇති බව පෙන්වා දුන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ජනාධිපතිවරයාගේ එම කාර්යභාරය අද බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්ව ඇති බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, උගන්ඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වී. කනන්තන්  ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.