කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව ජනපති නිරාවරණය කරයි !

කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව ජනපති නිරාවරණය කරයි !

කොල්ලුපිටිය වාළුකාරාමය ඇතුළු පංච මහා විහාරාධිපති, විචිත්‍ර භාණක පූජ්‍ය මහරගම නන්ද නායක හිමිපාණන් වහන්සේගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙන් කොල්ලුපිටිය වාළුකාරාම විහාර මන්දිරයේ ප්‍රතිෂ්ඨාපනය කරන ලද කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (12) සිදුවිය.

තායිලන්තයේ රාජකීය සඟරජ පරපුරේ ප්‍රාකෘ උඩොම් දම්මානුකුල් විබන්පෑව් නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ලුවම් පු සෘෂි කෙත් කැච් තාපසතුමා ඇතුළු තායිලන්ත දායක දායිකාවන්ගේ අනුග්‍රහයෙන් මෙම ලෝහමය ප්‍රතිමාව ඉදිකර තිබේ.

නාම පුවරුව විවෘත කර කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙයට සමගාමීව විහාර මන්දිරයේ ප්‍රතිෂ්ඨාපනය කර තිබූ පූජ්‍ය වැලිවිට සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේගේ පිළිරුව සහ සියම් දේශයේ උපාලි මහ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පිළිරුව නිරාවණය කිරීම පූජ්‍ය මහරගම නන්ද නා හිමිපාණන් වහන්සේගේ සහ රාජකීය සඟරජ පරපුරේ ප්‍රාකෘ උඩොම් දම්මානුකුල් විබන්පෑව් නාහිමිපාණන් වහන්සේගේ සුරතින් සිදු කෙරිණි.

අනතුරුව ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක මහෝපාධ්‍යාය පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාරාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේ විසින් රැස්ව සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවීමෙන් පසුව පූජ්‍ය මහරගම නන්ද නායක හිමිපාණන් වහන්සේ මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි පිරිස පිළිගනිමින් අනුශාසනාවක් සිදු කළහ.

ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ බුදු දහම වෙනුවෙන් සිදුකළ සුවිශේෂී මෙහෙවර අගයමින් රාජකීය සඟරජ පරපුරේ ප්‍රාකෘ උඩොම් දම්මානුකුල් විබන්පෑව් නාහිමිපාණන් වහන්සේට සහ ලුවම් පු සෘෂි කෙත්කෑව් තාපසතුමා වෙනුවෙන් සහ මහාචාර්ය නුවන් කාවින්ද විජේසිංහ වෙත සමරු තිළිණ පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදුවිය.

මෙහිදී ජනාධිපතිවරයා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

ඓතිහාසික රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන් විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර, කටුනායක බෝධිරත්නාරාමාධිපති පූජ්‍ය අමන්දොළුවේ ධම්මරතන යන ස්වාමීන් වහන්සේලා ද, වාළුකාරාමාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී උඩවෙල කෝලිත ස්වාමීන් වහන්සේ ඇතුළු මෙරට සහ තායිලන්ත ස්වාමීන් වහන්සේලා ද, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය රවි කරුණානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩික්සන් ජේ. පෙරේරා සහ විහාරස්ථ දායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240212 WA0008

IMG 20240212 WA0006

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න