Language Switcher

V2025

ලොතරැයි මණ්ඩලයෙන් බිලියන 7ක් ඒකාබද්ධ අරමුදලට

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2023 වර්ෂයේ අලෙවි කරන ලද ලොතරැයි ටිකට්පත්වල සුපිරි ත්‍යාග සහ රුපියල් මිලියනයේ මුදල් ත්‍යාගවලට අදාල චෙක්පත් සහ වාහන ත්‍යාග ජයග්‍රාහකයන් වෙත පිරිනැමීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (16) පැවැත්විණි.

ගොවිසෙත, මෙගා පවර් සහ මෙගා පවර් 60 යන ලොතරැයිවල සුපිරි ත්‍යාග ජයග්‍රාහකයන් වෙත ඊට අදාළ මුදල් ත්‍යාග සහ වාහන ත්‍යාග පිරිනැමීම සහ ජයග්‍රාහී ලොතරැයි පත් අලෙවි නියෝජිතයන් වෙත ඇගයීම් සහතික හා ත්‍යාග පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අතින් මෙහිදී සිදුවිය.

මීට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලය විසින් අලුතින් හඳුන්වාදෙන “අද සම්පත” නව ලොතරැයි ටිකට් පත එළි දැක්වීම ද සිදු වූ අතර එම ලොතරැයියෙහි පළමු ටිකට්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී. යාපා අබේවර්ධන  විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

තවද ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා සිදු කළ මෙහෙවර අගයමින් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් පිරිනමනු ලබන සමරු තිළිණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් ඒ මහතා වෙත ප්‍රදානය කෙරිණි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ 2023 වසරේ ආදායමින් රුපියල් බිලියන 7.1ක දායකත්වයක් රාජ්‍ය ඒකාබද්ධ අරමුදල වෙත පිරිනැමීමද මෙහිදී සිදු වූ අතර ඊට අදාළ වෙක්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී. යාපා අබේවර්ධන විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත බාර දෙනු ලැබීය.