Language Switcher

V2025

කිසිදු හේතුවක් නිසා හෝ කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර නෑ - අමාත්‍ය අමරවීර

දිවයිනේ කුඹුරු ඉඩම් ගොඩ කර විවිධ කටයුතු සඳහා යොදා ගැනීමට ඇතැම් පුද්ගලයින් හා කණ්ඩායම් උත්සාහ ගත්ත ද මින්පසු කිසිදු හේතුවක් නිසා හෝ කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර නොදෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් දෙයි.

ඊයේ (14) පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැති කෘෂිකර්ම සංවර්ධන කමිටු රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම සාකච්ඡාවේ දී විශේෂයෙන් නාගරිකව තිබෙන කුඹුරු ඉඩම්වලින් ඉහළම ඵලදායිත්වයක් ලබා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළේය.

දැනට පාදුක්ක ප්‍රදේශයේ වගා කළ හැකි ඉඩම් අක්කර 10,000ක් පමණ තිබෙන අතර එම ඉඩම්වල කොළඹ නගරයට හා තදාසන්න නගරවලට අවශ්‍ය එළවළු වගා කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා වැඩ පිළිවෙළක් සකසන්නැයි කෘෂිකර්ම උපදේශකවරුන්ට හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම තවදුරටත් පුරන් කුඹුරු වී වගාව සඳහා අස්වැද්දීම ඵලදායක නොවන බව කී අමාත්‍යවරයා පුරන් කුඹුරුවල වෙනත් වගාවන් සඳහා යොදා ගැනීමට පියවර ගත යුතු බවත් සඳහන් කළේය.

පුරන් කුඹුරු වැඩිපුරම පවතින්නේ බස්නාහිර පළාතේ නිසා බොහෝ දෙනෙක් කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා අවසර ඉල්ලති. නමුත් ඉඩම් ගොඩ කිරීමට අවසර නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින් මින් ඉදිරියට කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා කිසිදු නිර්දේශයක් ඉදිරිපත් නොකරන ලෙස අමාත්‍යවරයා අදාල නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ඇතැම් පුද්ගලයින් මාර්ග දෙපස ඇති කුඹුරු ඉඩම් හිතා මතා පුරන්වීමට ඉඩ හැර ඇති බව තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පවා පසුගියදා පෙන්වා දුන් බව කී අමාත්‍යවරයා කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර නොදෙන ලෙස ජනාධිපතිතුමන් තමන්ට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

පාදුක්ක තරුණ කෘෂිව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා කුකුළු පැටව් හා පොල් පැළ ද බෙදා දෙනු ලැබීය.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න යන අය ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.