පක්ෂයේ අභ්‍යන්තර අවුල් අධිකරණයට ගිහින් විසඳගන්න : මැකොස ශ්‍රීලනිපයට දන්වයි !

පක්ෂයේ අභ්‍යන්තර අවුල් අධිකරණයට ගිහින් විසඳගන්න : මැකොස ශ්‍රීලනිපයට දන්වයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලු විසදීමට තම කොමිසමට කිසිදු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වාදී ඇත.

ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු හා ලේඛන ඊයේ (18) මැතිවරණ කොමිසමේ සාමාජිකයින් විසින් සාකච්ඡාවට ගැනීමෙන් පසුව මෙම තීරණය දැනුම්දී තිබේ.

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 08 වනදා දේශපාලන මණ්ඩලය රැස්වී පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත්කරගත් අතර මහලේකම් ධුරයේ ක්‍රියා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක වෙත බලය පවරා තිබුණි.

මෙම පත්කිරීම් සම්බන්ධ තොරතුරු හා ලේඛන දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා විසින් මැතිවරණ කොමිසම වෙත භාරදීමෙන් අනතුරුව පක්ෂ වැඩබලන මහලේකම් , පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල ද නව පත් කිරීම් සම්බන්ධයෙන් කොමිසම හමුවේ විරෝධතා ගොනු කළේය.

ඒ අනුව ඊයේ රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්ව දෙකක් විසින් ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳ අවධානය යොමුකර තිබුණි.

සාමාන්‍ය නෛතික වපසරිය සහ ක්‍රියාපටිපාටිය තුළ නිදහස් පක්ෂය තුළ හටගෙන ඇති අභ්‍යන්තර ගැටලු විසදීමට මැතිවරණ කොමිෂන් සභාවට නෛතික බලයක් නොමැති බැවින් පවතින ගැටලු පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් අධිකරණය හරහා විසදාගත යුතු බව එම කොමිසමේ මතය වී ඇත.

ඕනෑම පක්ෂයක අභ්‍යන්තර අර්බුද සඳහා අතපෙවීමට හෝ ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු නීතිමය අවස්ථාවක් ද නොමැති බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.

මේ වන විටත් නිදහස් පක්ෂයේ තනතුරු සහ පාර්ශ්ව සම්බන්ධයෙන් පවතින අර්බුදය අධිකරණය හමුවේ විභාග වන බැවින් ඉන් ලබාදෙන නියෝග හෝ නිර්දේශ පිළිගැනීමට පමණක් මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව පවතී.

කෙසේවෙතත් යම් හෙයකින් ඉදිරියේදී මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුවත් නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුද පැවතුණ හොත් ඔවුන්ට නාමයෝජනා ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් සලකා බලා මැතිවරණ ක්‍රියාවලිය යටතේ පමණක් යම් තීන්දුවක් ගැනීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න