Language Switcher

V2025

අගමැතිගෙන් මාධ්‍යවේදීන්ට තෙලක්

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සම්බන්ධව මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ උනන්දුව පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙසේ සඳහන් කර සිටියේ 04 වනදා කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේ පැවති මාධ්‍යවේදීන්ට එල්ලවන ප්‍රචණ්ඩත්වයට එරෙහි අන්තර්ජාතික සමුළුව අමතමින්ය.

මාධ්‍ය ප්‍රධානීන් ඉලක්ක කර අග්‍රාමාත්‍යවරයා මෙසේ විවේචනය කර දැක්වුයේ අදාල අන්තර ජාතික සමුළුව මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කර ගැනීම වුවත් රාජ්‍ය මාධ්‍ය දෙකක ප්‍රධානීන් සහ එක් පුවත්පත් කර්තෘවරයෙකු හැර වෙනත් කිසිඳු මාධ්‍ය ආයතන ප්‍රධානියකු අදාළ සමුවට සහභාගීවීමටවත් උනන්දු නොවීම සම්බන්ධයෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ වර්තමානයේ සිටින බොහෝ මාධ්‍ය ප්‍රධානීන්ගේ අපේක්ෂාව වත්මන් ආණ්ඩුව සලසාදී තිබෙන මාධ්‍ය නිදහස යොදාගෙන ආණ්ඩුවට පහරදී නැවත රාජපක්ෂලා සමඟ පැමිණ මුදල් ඉපයීම වෙනුවෙන් ව්‍යාපාර ඇරඹීම පමණක් බවය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මෙම අන්තර්ජාතික සමුළුවේ අරමුණ මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහිව පෙළගැසීමයි. රාජපක්‍ෂ රෙජිමය යටතේ එම අපරාධ එකක් සම්බන්ධයෙන්වත් ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. තමන්ගේ හිතුමනාපයට ඕනෑම මාධ්‍යවේදියෙකුට පහරදුන්නා. අත්අඩංගුවේ තබා ගත්තා. අද අපි මේ පවත්වන වැදගත් උත්සවයට මාධ්‍යවේදීන්, මාධ්‍ය ප්‍රධානීන් පැමිණේවි යැයි මා බලාපොරොත්තු වුණා. නමුත් එවැනි කිසිවෙකුත් මෙහි පැමිණ නැහැ. රාජ්‍ය මාධ්‍ය දෙකක සභාපතිවරුන් සහ පෞද්ගලික මාධ්‍යයක කර්තෘවරයෙකු ඉන්නවා. අපට බලාපොරොත්තු විය හැක්කේ මෙය ද? ලසන්ත වික්‍රමතුංග, ප්‍රදිප් එක්නැලිගොඩ, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, උදයන් පුවත් පතේ මාධ්‍යවේදීන්ට පහරදීම්, ජීවිත නැති කිරීම් කලාට ඒ පිළිබඳව තමන්ට කිසිම ළැදියාවක් නැති බව, උනන්දුවක් නැති බව මෙම මාධ්‍ය පිරිස නොකියා කියනවා.

මේ කියන්නේ මාධ්‍ය නිදහස අවශ්‍ය නැති බව ද? රාජපක්‍ෂ රෙජිමය නැවතත් අවශ්‍ය බවද? ආණ්ඩුව නැති කර දමා හෝ නැවත රාජපක්‍ෂ රෙජිමය ගෙනැවිත් අප නැවතත් මාධ්‍යවේදීන් මරාදමන්නට ඉඩදෙමු කියන කාරණය ද? නැතිනම් ඔවුන් කියන්නේ වෙන මොනවාද? මාධ්‍යවේදීන්ට සිදු වූ අකටයුතුකම් පිළිබඳව ඔවුන් කිසිදිනෙක මගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. අජිත් පෙරේරා මහතාගේ ඡායාරූප පස්වතාවක් පළ කළ අයුරින්, ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඡායාරූප පස්වතාවක් පළ කොට මේ මිනිහාට සිදුවූයේ කුමක්දැයි මගෙන් ඇසුවේ නැහැ.

මගේ මේ කතාව පළ කරාවිදැයි කියාවත් මා දන්නේ නැහැ. හෙට සිට මට තවත් පහර ගසාවි. නමුත් සත්‍ය මෙයයි. අද ගල්ගමුවේ ඇතාගේ ප්‍රශ්නය පිළිබඳව, දළ පිළිබඳව කතා කරනවා. එය ඉතා හොඳයි. ඒ පිළිබඳවත් අප ක්‍රියා කරනවා. නමුත් මාධ්‍යයේ කරඬුව ගෙන ගිය ඇතා මරා දැමූ පසු මේ අය කතා කළේ මොනවාද? මේ තත්ත්වය බලපාන්නේ මට නොවෙයි. මාධ්‍යවේදීන් සියලූම දෙනාටයි. මාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමට අප උනන්දු වෙනවා. නමුත් ඔබ වැඩකරන සමාගම එලෙස උනන්දු වෙනවා ද? එදත් ඔවුන් නිශ්ශබ්දව සිටියා. රාජපක්‍ෂ රෙජිමය සමග හවුල් වී බිස්නස් කළා.

මෙම වැදගත් සමුළුවේදී මට රටෙන් අසන්නට තිබුණේ අප මාධ්‍යවේදීන් ආරක්‍ෂා කරන්නට මෙහි පැමිණි අවස්ථාවක මාධ්‍ය නියෝජනය කරන ප්‍රධාන පුද්ගලයන් මෙහි නොපැමිණියේ ඇයි? යන ප්‍රශ්නයයි. මොවුන්ට අවශ්‍ය මාධ්‍ය ආරක්‍ෂා කරන්න ද මාධ්‍ය නිදහස පාවිච්චි කොට ආණ්ඩුවට පහර ගසා, යහපාලනයට පහර ගසා රාජපක්‍ෂ රෙජිමයක් නැවත ඇති කරන්න ද? යන ප්‍රශ්නය අපට ඇති වෙනවා. මේ කාරණයෙන් එකක් ඔප්පු වෙනවා. සමහර කරුණු හෙළි දරව් නොකරන්නේ ඇයි ද යන වගත්, මෙතරම් පහර ගහන්නේ ඇයි යන වගත් ඔවුන්ගේ මේ ක්‍රියාවෙන්ම ඔප්පු වෙනවා. මා මේ කතාව අවසන් කළ මොහොතේ සිට මට බනින්නට නිදහස තිබෙනවා.