උරුමයේ ප්‍රතිලාභ වව්නියාවටත් !

උරුමයේ ප්‍රතිලාභ වව්නියාවටත් !

"උරුමය ” වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 ක් ආවරණය වන පරිදි සින්නක්කර ඉඩම් ඔප්පු 700ක් ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ වවුනියාව මෝජෝ උත්සව ශාලාවේ දී සිදු විය.

“උරුමය” වැඩසටහන යටතේ වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඔප්පු 5400ක් ලබාදීමට නියමිත අතර එහි පළමු අදියර යටතේ මෙම ඔප්පු ප්‍රදානය සිදු කෙරිණි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම කෘෂි නවීකරණ වැඩපිළිවෙළේ ආරම්භක අවස්ථාව බවයි.

කෘෂි නවීකරණ වැඩසටහන යටතේ ඉදිරි වසර තුන තුළ නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙන යාමට කටයුතු කරන බවත්, නවීන තාක්ෂණය භාවිතයෙන් තම නිෂ්පාදන වැඩි කර ගනිමින් ආදායම් ඉහළ නංවා ගැනීමට එමඟින් ජනතාවට අවස්ථාව උදාවන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම යනු රජය සතු දේපල පුද්ගලීකරණය කිරීමක් බවත් එය රටේ ආර්ථිකය නංවාලීම සඳහා සෘජුව දායක කර ගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

1935 වසරේ සිට ජනතාවට ගොවිතැන් කිරීමට හා නිවාස ඉදි කිරීමට ඉඩම් සඳහා බලපත්‍ර ලබා දුන්නා. නමුත් ඉඩමේ අයිතිය ලබාදුන්නේ නැහැ. ඒ නිසා ඔබට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට මා තීන්දු කළා. මේ ආකාරයට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම තුළින් ජනතාව ඉඩම් විකිණීමට කටයුතු කරනු ඇතැයි බොහෝ දෙනෙකු පැවසුවා. නමුත් පරම්පරා දෙකක් භුක්ති විඳී ඉඩම විකිණීමට ඔබ කටයුතු නොකරනු ඇතැයි මම විශ්වාස කරනවා.

පසුගිය කාලයේ ජනතාව ගොඩක් දුක් වින්දා. කොව්ඩ් වසංගතය හා ආර්ථික අර්බුදය නිසා ජනතාව විශාල පීඩාවකට පත්ව සිටියා. එම අර්බුද නිසා මෙරට ජනතාවගෙන් සියයට හැත්තෑවක පමණ දේපළ වටිනාකම පහත වැටුණා. අද මේ ලබාදෙන සින්නක්කර ඔප්පුව මඟින් ඔබලාගේ දේපෙළ වල වටිනාකම ඉහළ යනවා.

මෙම ඉඩම් භාවිතා කර නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට දායකවෙන්න. එමඟින් රටේ නිෂ්පාදන ආර්ථිකයට දායක විය හැකියි. ආර්ථික අර්බුදයන් රට ගොඩ එන අවස්ථාවේ ඔබට ලබාදිය හැකි ඉහළම දායකත්වය එයයි. මල්වතු ඔය ව්‍යාපෘතිය අවසන් වූ පසු මන්නාරම දිස්ත්‍රික්කයේ වගාකටයුතු මීට වඩා පහසුවෙන් සිදු කරගත හැකි බවද සඳහන් කළයුතුයි.

රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් ,

වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදෙන ස්වර්ණමය දිනය අදයි. කාර්යමණ්ඩලය ප්‍රමාණවත් අයුරින් සිටියානම් අද වැඩි පිරිසකට ඉඩම් ඔප්පු ලබාදීමට හැකියාව තිබුණා. නමුත් ඉදිරියේදී මෙම වැඩපිළිවෙළ වඩා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ජනාධිපතිතුමා විසින් ගෙන තිබෙනවා. ඉදිරියට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළයුතුයි. ඒ වෙනුවෙන් අප එතුමාට සහයෝගය ලබා දිය යුතුයි.

උතුරු පළාත් ආණ්ඩුකාර වී.එම්.එස්.චාල්ස් ,

ජනාධිපතිතුමා විසින් උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5ක සංවර්ධන ව්‍යාපෘති රැසක් පසුගිය දින තුන තුළ ක්‍රියාවට නංවනු ලැබුවා. ඒ අතර අධ්‍යාපන, සෞඛ්‍ය, රැකියා, ඉඩම් අයිතිය ලබා දීම වැනි වැඩසටහන් රැසක් තිබෙනවා. එසේම මේ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා වගේම ජනතා නියෝජිතයන්ගේ ඉල්ලීමවලට සවන්දී ඒවා ඉටු කිරීමට පියවර ගනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්,

උතුරේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීම පිළිබඳ අප ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම ඔවුන්ට හිමිවන විශාල සහනයක් බව කිවයුතුයි.ලක්ෂ 20ක ජනතාව වෙනුවෙන් සින්නකර ඉඩම් ඔප්පු ලබාදීම සිදුවුවහොත් වන්නියේ ඉඩම් නොමැති කිසිවෙකු ඉතිරි වන්නේ නැහැ. ඒ වගේම මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලුවලට ද ජනාධිපතිතුමා විසඳුම් ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සූ. නෝගරාදලිංගම් ,

උතුරේ තෙදින සංචාරයක නිරත වූ ජනාධිපතිතුමා සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පවරා දෙනු ලැබුවා. මෙම සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට දෙමළ ජතික සන්ධානය ලෙස අප සහයෝගය ලබා දීමට සූදානම්. ඉඩම් බලපත්‍රලාභීන් ලෙස ජීවත් වූ ජනතාවට සින්නකර ඉඩම් ඔප්පු ලබාදීම අගය කළ යුතුයි.

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන්  ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් සහ වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්චන්ද්‍ර  ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න