Language Switcher

V2025

පෙර පාසල් ගුරුවරුන්ගේ වැඩි කළ රුපියල් 2500ක දීමනාව මේ සතියේ සිට !

මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස අහිමි ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම ඇතුළු ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ඉදිරි වසර කිහිපයේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

මේ අතර පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 2500 කින් වැඩි කිරීමට රජය පියවර ගෙන තිබෙන බවත්, එම වැඩිකළ දීමනාව මේ සතියේ සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ පාසල් හැරගිය සහ රැකියා විරහිත තරුණ තරුණියන් සමඟ ඊයේ (23) මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයේ පැවති හමුවකදීය.

ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර ඔවුන් නැඟු ප්‍රශ්නවලට ජනාධිපතිවරයා විසින් සාධනීය පිළිතුරු ලබා දෙනු ලැබීය.

එහිදී තරුණ තරුණියන් නැගූ ප්‍රශ්න කිහිපයක් සහ ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුරු පහත පරිදි වේ.

ප්‍රශ්නය,

නැගෙනහිර පළාතේ පමණක් පෙර පාසල් 1800 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. නමුත් එහි ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ට ලැබෙන දීමනාව ප්‍රමාණවත් නැහැ. ඔවුන්ගේ දිමනාව වැඩි කිරීමට අදහසක් තිබෙනවාද?

පිළිතුර,

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 2500කින් වැඩි කිරීමට අප තීරණය කළා. එම වැඩි කිරීම මේ සතියේ සිට ක්‍රියාත්මක වන බව කිවයුතුයි.

ප්‍රශ්නය,

ස්ථීර නිවාස ඇතුළු මූලික පහසුකම් නොමැති විශාල පිරිසක් මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. ඔවුන් වෙනුවෙන් නිවාස යටිතල පහසුකම් සපුරාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවාද?

පිළිතුර,

මේ වසරේ අවසන් කාර්තුව මැතිවරණ පැවැත්වෙන කාලසීමාවක්. ඒ නිසා එම කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට නොහැකි වුවත් ඊළඟ වසර කිහිපය තුළ මෙම ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය විශාල ලෙස දියුණු කිරිමට හැකියාව තිබෙනවා. ඒ සඳහා සැලසුම් සකස් කර තිබෙන අතර කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ද ක්‍රියාත්මක කර තිබෙනවා. මේ තුළින් ඉදිරි වසර කිහිපය තුළ මේ පළාතේ විශාල දියුණුවක් ඇති වෙනවා. ඒ වගේම ත්‍රිකුණාමල වරාය ඇතුළු ත්‍රිකුණාමල නගරය සංවර්ධනය වෙනුවෙන් අප ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. මෙම කටයුතු සමඟ ඉදිරියේදී නැගෙනහිර පළාතේ තරුණ තරුණියන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ද උදා වෙනවා.

ප්‍රශ්නය

කරදියනාරු ප්‍රදේශය ආශ්‍රිතව ඉහළ අධ්‍යාපන මට්ටමක් ඇති තරුණ තරුණියන් විශාල පිරිසක් සිටිනවා. ඔවුන් වෙනුවෙන් මේ ප්‍රදේශයේ කර්මාන්ත පුරයක් පිහිටුවීමට හැකියාවක් තිබෙනවාද?

පිළිතුර,
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා ,

මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්, කොණ්ඩක්කුඩා ප්‍රදේශයේ විශාල ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. එමඟින් මේ පළාතේ රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් උදාවෙනවා. මීට අමතරව විවිධ ආයෝජන මත කර්මාන්තශාලා ඇතුළු ව්‍යාපෘති රැසක් මෙම ප්‍රදේශයේ ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපෘති යහපාලන ආණ්ඩුව සමයේ අග්‍රාමාත්‍යවරයා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන ආ ව්‍යාපෘති බව කිවයුතුයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්. වියාලේන්ද්‍රන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.