Language Switcher

V2025

දළදා වැන්ද ජනාධිපති ගුරුවරුන්ට දුන්න පණිවිඩය මෙන්න !

රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු බවත්, ඉදිරියේදී යම් හෙයකින් එය සිදු නොවන්නේ නම් සහ පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (27) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේ දී උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරකට එක් වෙමිනි.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දරුවන්ට ආදර්ශයක් වෙමින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කළයුතු බව මෙහිදි පැවසූ ජනාධිපතිවරයා උද්ඝෝෂණ සහ වැඩවර්ජන සඳහා ඇතැම් ගුරුවරු සම්බන්ධ වීමේ දී ඉදිරියේ දී ඔවුන්ට, දරුවන්ට අවවාදයක් හා උපදෙසක් ලබාදීමට කෙතරම් හැකියාවක් හිමිවේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළේය.

මෙම අර්බුදය සමස්ත ගුරු සේවය තුළම මතුව ඇති අර්බුදයක් නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා
ඇතැම් දේශපාලන නැඹුරුවක් තිබෙන ගුරුවරුන් පමණක් ඊට සම්බන්ධ වී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, එක් කණ්ඩායමක් නිසා සමස්ත ගුරු වෘත්තියටම කැළලක් සිදුව ඇති බවත් සඳහන් කළේය.

එසේම මෙම තත්ත්වය දක්නට ලැබෙන්නේ සිංහල පාසල් තුළ පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙමළ, මුස්ලිම් සහ පෞද්ගලික පාසල් අඛණ්ඩව දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට කැපවී සිටීම අගය කළේය.

එමෙන්ම පාසලේ මුරකරුවන් විසින් දරුවන් හරවා යවන බවට තොරතුරු වාර්තා වී ඇති අතර එවන් සිදුවීම්වලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද (27) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර  විසින් පිළිගනු ලැබීය.

අනතුරුව ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් ඉදිරියේ ආගමික වතාවත්වල නිරත වු ජනාධිපතිවරයා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.

කලාශිල්පී අතුල හේරත්  විසින් කෘතීම බුද්ධි තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිර්මාණය කර තිබු රජෙකුගේ හා බිසවකගේ පිළිරූ ද මෙහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

මේ අතර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පුද බිම වෙත පැමිණ සිටී ජනතාවගේ ද තොරතුරු විමසු ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහක නිරත විය.

අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

ඊයේ සිදු කළ විශේෂ ප්‍රකාශයෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහ නා හිමිවරුන් බැහැ දුටු පළමු අවස්ථාව මෙය වන අතර මහනුවර සුවිසල් නගර සංවර්ධන සැලැස්ම ද ජනාධිපතිවරයා  මෙහිදී මහ නා හිමිවරුන් වෙත පිළිගැන්වීය.

උද්ඝෝෂණය කරන පිරිසගේ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කර විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙස මල්වතු මහ නා හිමියන් එහිදී කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ වැටුප් විෂමතාවක් සිදු නොවන අයුරින් රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා ලබන වසරේ සිට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බවයි.

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම් සම්බන්ධයෙන් මේ වන විට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා කමිටුවක්ද පත්කර ඇති බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් මෙසේද පැවසීය,

මා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ මල්වතු මහා විහාරය වෙත පැමිණියා. ඔබ වහන්සේලා ලබා දුන් උපදෙස් අනුව රට පාලනය කර අද රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීමට මට හැකි වී තිබෙනවා. අද මා පළමුවෙන්ම මෙහි පැමිණියේ එම පණිවිඩය ඔබවහන්සේට දැනුම් දීමටයි. විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව අප මේවන විට එකඟතා දෙකකට අත්සන් තබා තිබෙනවා.

ගුරුවරුන්ට නැවත වැටුප් වැඩි කිරීමකට අවශ්‍ය පහසුකම් සලසා දිය හැක්කේ ලබන වසරේදි බව කිවයුතුයි. ඒ පිළිබඳ අප ඔවුන්ව දැනුවත් කර තිබෙනවා. ඒ වගේම අනෙක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව ද සලකා බැලීමට සිදුවෙනවා. මොකද 2022 වසරේදී ගුරුවරුන්ට රුපියල් 3000-17000ත් අතර ගණනකින් වැටුප් වැඩිවීමක් සිදුව තිබෙනවා.

ඉන් පසුව ඔවුන්ට මේ වසරේ රුපියල් දසදහක වැටුප් වැඩිවීමක්ද සිදු වුණා. ඒ අනුව බැලූවිට රුපියල් 13000- 27000ක වැටුප් වැඩිවීමක් ගුරුවරුන්ට මේ වන විට ලැබී තිබෙනවා. එම නිසා අනෙක් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ද සාකච්ඡා කළ යුතුයි.

මේ වන විට දෙමළ මුස්ලිම් පාසල් ක්‍රියාත්මක වෙනවා. සිංහල පාසල්වල ගුරුවරුන් පමණයි මෙවැනි වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටින්නේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව 2025 වසරේ සිට රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම එක් ක්‍රමවේදයක් අනුව සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සොයා බැලීමට මේ වනවිට කමිටුවක්ද පත් කර තිබෙනවා.

මහනුවර නගර සංවර්ධන සැලැස්මට අනුව පරිපාලන නගරය කුණ්ඩසාලයට ගෙන යාමට කටයුතු කරනවා. එහිදී ඉන්දියානු IIT විශ්වවිද්‍යාලයත් මහනුවර ස්ථාපිත කිරීමට සාකච්ඡා කර තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සියලු දේ සිදු කරන අතරම අස්වැසුම, උරුමය වැඩසටහන් මඟින් ජනතාවට සහන ලබාදීමටත් කටයුතු කර තිබෙනවා.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගනිමින් උන්වහන්සේ සමඟ ද කෙටි පිළිසඳරක නිරත විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

සාම්ප්‍රදායික දේශපාලන බෙදීම් අනුව කටයුතු කර මේ රට ගොඩගත නොහැකියි. දේශපාලන වශයෙන් බෙදිලා කටයුතු කළා නම් වසර දෙකක් තුළ රටේ ආර්ථිකය ගොඩගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. අද තිබෙන තත්ත්වයට රට ගෙන ඒමට පාර්ලිමේන්තුවේ සෑම පක්ෂයකම විවිධ කොටස් අපට සහාය ලබා දුන්නා. ඒ වගේම සෑම පක්ෂයකම කොටසක් විපක්ෂයටත් ගියා. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවත් සමඟ එක්ව කටයුතු කළා නම් රටක් ලෙස අපට මීට වඩා යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකිව තිබුණා.

රටේ ආර්ථිකය ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස මම පාර්ලිමේන්තුවේ සියලුදෙනාට ආරාධනා කර තිබෙනවා. අද ලෝක දේශපාලනය වෙනස් වෙමින් පවතිනවා. එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය වැනි රටවල ප්‍රධාන පක්ෂ කැඩී යමින් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ බිඳී යාම පුදුමයට කරුණක් නොවෙයි.

විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අප එකඟතාවට එළැඹ තිබෙනවා. ගුරුවරුන්ගේ මෙන්ම අනෙකුත් රාජ්‍ය නිලධාරින්ගේ ද වැටුප් වැඩි කිරීම් පිළිබඳ රජයේ අවධානය යොමු කර තිබෙනවා.

ගමකට රාජ්‍ය නිලධාරීන් හතර දෙනෙකුට වඩා සිටියද ආර්ථිකයට ඔවුන්ගේ පුළුල් දායකත්වයක් ලැබෙන්නේ නැහැ. පොල් සම්බන්ධ ආයතනයක් ක්‍රියාත්මක වුවද ලංකාවේ පොල් නිෂ්පාදනය එන්න එන්නම අඩුවෙලා තිබෙනවා. නමුත් කේරළයේ පොල් නිෂ්පාදනය වැඩි වෙමින් තිබෙනවා. ඔවුන් වේගයෙන් අපනයන ආර්ථියකට මාරු වෙමින් සිටිනවා. අපේ මහවැලි කලාප කාර්යාල සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වුවද මහවැලි කලාපයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් තුනක පමණ අස්වැන්නක් පමණයි ලබාගන්නේ.

වසර 50ක් තුළ වැවිලි කාර්මාන්තය තුළින් ඉන්දියාව, චීනය වැනි රටවල් විශාල ආර්ථික වාසි ලබා ගනිමින් ඉදිරියට පැමිණ තිබෙනවා. සුදු ජාතිකයන්ගේ කාලයේ තේ, පොල්, රබර් ආර්ථිකයක් පැවතුනා. ඉන් පසුව 1977 විවෘත ආර්ථිකය සමඟ ඇතිකළ ඇගළුම කර්මාන්තය නොවන්නට මේ රටේ ආර්ථිකය මීට වඩා පහළට ඇඳ වැටෙනවා.

ගඩලාදෙනිය, ලංකාතිලකය සහ ඇම්බැක්කේ එක් කරමින් සංචාරක කලාපයක් ඇති කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා යටිතල පහසුකම් ලබාදීමට පියවර ගන්නවා. බෞද්ධ ශිෂ්ඨාචාර මධ්‍යස්ථානයක් ඇති කර සංචාරකයන් විශාල පිරිසක් මේ මහනුවර ප්‍රදේශයට ගෙන්වා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

ඓතිහාසික දළදා මාළිගාව, උඩවත්ත කැලේ හා වික්ටෝරියා වේල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන් එවිට දින කිහිපයක් මෙම මහනුවර ප්‍රදේශය තුළ රැඳී සිටිනු ඇතියි.

මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ බෝගම්බර බන්ධනාගාරය පිහිටි ප්‍රදේශය හෝටල් සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නවා. ඒ වගේම නුවර පරිපාලන කටයුතු කුණ්ඩසාලයට ගෙන යාමට සැලසුම් කර තිබෙනවා. දිගන ප්‍රදේශයට තාක්ෂණ කලාපයක් ලබාදෙමින් මෙම ප්‍රදේශයේ දියුණු තාක්ෂණික දියුණුවත් ඇති කිරීමට කටයුතු කරනවා.

නුවර කොළඹ අධිවේගි මාර්ගයේ කොළඹ සිට මීරිගම දක්වා කොටස චීනයේ සහාය ඇතිව සහ කුරුණෑගල සිට මහනුවර දක්වා කොටස ජපානයේ සහාය ඇතිව නිම කිරීමට මේ වන විට සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමටද ඔබවහන්සේලාගේ සහාය අපේක්ෂා කරනවා.

මෙහිදී අදහස් දැක්වු අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක ඓතිහාසික මුතියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය මුරුංදෙණියේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ.

පසුගිය වසර දෙකක ඉතිහාසය අපට මතකයි. ඔබතුමා ජනාධිපති ධූරය භාර ගැනීමට පෙර මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. එදා රට තිබුණේ ඉතා අසීරු තැනකයි. ජනතාව පාර්ලිමේන්තුව වටකර පාර්ලිමේන්තුව ආක්‍රමණය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඔබතුමා සෘජු තීන්දු තීරණ ගෙන රට අද මෙම තත්ත්වට ගෙන ඒමට කටයුතු කළා.

ශ්‍රී ලංකාවට රටක් ලෙස හුදකලාව ජීවත්විය නොහැකියි. ජාත්‍යන්තරය සමඟ එක්ව කටයුතු කළයුතුයි. ඔබතුමාට ඒ පිළිබඳ හොද අවබෝධයක් තිබෙනවා. එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර රටේ ආර්ථික තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ඔබතුමාට හැකි වුණා. ඔබතුමාගේ විශේෂ ප්‍රකාශය තුළ රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකියි. ඒ සඳහා අප ආශිර්වාද කරනවා. මෙම කාලය නායකයන් අත්හදා බලන කාලයක් නොවෙයි.

රටේ ආර්ථිකය හා මූල්‍ය තත්ත්වය පිළිබඳ අවබෝධයක් නොමැතිව සිදුකරන උද්ඝෝෂණ ඉදිරි දේශපාලන මැතිවරණ ඉලක්ක කර ගනිමින් සිදු කරන්නක්. මේ සඳහා ගුරු භූමිකාව මැදිහත්වීම, ගුරු වෘත්තියේ ගරුත්වය කෙළසා දමනවා. දරුවන්ට වැරදි පූර්වාදර්ශයක් ගුරුවරුන් විසින් මෙහිදී ලබා දෙනවා.

ගමක් තුළ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සිටිනවා. උදාහරණයක් ලෙස පොල් වගාව සම්බන්ධයෙන් ගත් විට නිලධාරින් හතර දෙනෙක් පමණ ගමකට සිටිනවා. නමුත් ඔවුන් ගමට හා ආර්ථිකයට සිදු කරන දායකත්වය නැවත සිතා බැලිය යුතුයි.

මින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර, කටුකැලේ සෙල්වම් විනයාගර් හින්දු කෝවිල වෙත පැමිණි අතර එස්. ක්‍රිෂ්නමුර්ති පූජකතුමා එහිදී ආගමික වතාවත් සිදු කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

ඉන් අනතුරුව මීරම් මක්කම් මුස්ලිම් දෙවස්ථානය වෙත ද පැමිණි ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත් අතර ඕ.එල්.එම්. තාසීම් මවුලවීතුමා එහිදී විශේෂ යාඥා මෙහෙයක් සිදු කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

අමාත්‍ය මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, මහින්දාන්නද අලුත්ගමගේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.