දරුවන් ප්‍රවේශම් කර ගන්න : දකුණේ දරුණු නියුමෝනියා තත්ත්වයක්‌ 

දරුවන් ප්‍රවේශම් කර ගන්න : දකුණේ දරුණු නියුමෝනියා තත්ත්වයක්‌ 

ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට පසුගියදා පැමිණි රෝගීන් පිරිසකට වැළඳී ඇත්තේ දරුණු නියුමෝනියා තත්ත්වයක්‌ බවත් මේ දිනවල දකුණු පළාතේ එම දරුණු නියුමෝනියා තත්ත්වය පැතිරෙමින් පවතින බවත් ගාල්ල කරාපිටිය රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අරුණ ද සිල්වා මහතා පැවැසීය.

පසුගිය මාසයක කාලසීමාව තුළ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවන් පස්දෙනෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමසීමේදී ඔහු එබව කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් විමසීමේදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද පැවැසීය.

''පසුගිය මාස කිහිපය තුළ හඳුනානොගත් රෝගයක්‌ ලෙසින් පැතිර තිබූ මෙය දැන් උච්ච තත්ත්වයට පත්වෙලා. මාතර, හම්බන්තොට, තංගල්ල ප්‍රදේශවලින් පවා රෝගීන් පැමිණෙනවා. දැනටමත් කරාපිටිය ශික්‍ෂණ රෝහලේ අපේ වාට්‌ටුවේ මෙන්ම අනිකුත් ළමා වාට්‌ටුවලත් රෝගීන් සෑහෙන්න ප්‍රමාණයක්‌ සිටිනවා.

විශේෂයෙන්ම අවුරුදු 2 ට 3 ට අඩු දරුවන්ට ඒ කියන්නේ ඉපදුණු දිනයේ සිට අවු.03 දක්‌වා දරුවන්ට මේ රෝගී තත්ත්වය බරපතළ බවට පත්වෙනවා.

මීට මූලික හේතුව වශයෙන් අපේ සියලු වෛද්‍යවරුන් සාකච්ඡා කිරීමෙන් පසු සොයාගෙන තිබෙන්නේ වෛරස්‌ එකකින් ඇතිවන නියුමෝනියා තත්ත්වයක්‌ නොව ඉන්ප්ලුවෙන්සා සහ ඇඩිනෝ යන වෛරස්‌වලින් ඇති වන නියුමෝනියා තත්ත්වයක්‌ බවයි.

 101594784 887eea0b d5ff 438b 9717 28a0389ea063
                                                                'අවුරුදු 02 ට අඩු ළමයින්ට දරුණු විය හැකියි' ; රෝහලක ප්‍රතිකාර ලබන දරුවෙක් (සංරක්ෂිත ඡායාරූපයක්) 

කළ යුත්තේ කුමක්ද?

මෙය වැඩිහිටියන්ට මෙන්ම ළමයින්ටත් හැදෙනවා. විශේෂයෙන් අවුරුදු 02 ට අඩු ළමයින්ට දරුණු විය හැකියි. මෙය වළක්‌වා ගැනීම තමයි කළ යුත්තේ. මෙයින් පළමු කාරණය ලෙස නිරෝගී දරුවන් ආරක්‍ෂා කරගත යුතුයි. 

විශේෂයෙන්ම මේ රෝගය සෑදුණු දරුවන්ගේ අයියලා මල්ලිලා සිටිනවා නම් ඔවුන් මේ රෝගී දරුවන් බැලීමට රෝහලට නොපැමිණිය යුතුයි. මවුපියන් විශේෂයෙන් මගුල් ගෙවල්, දානේ ගෙවල්, ජනයා වැඩිපුර ගැවසෙන ස්‌ථානවලට දරුවන් ගෙන නොයා යුතුයි. 

කැස්‌ස, හෙම්බිරිස්‌සාව, උණ, පාචන තත්ත්වයන් තියෙන දරුවන් පාසල්, පෙර පාසල් නොයවා හැකි තරම් ගෙදර රඳවා ගන්න. එය නිරෝගී දරුවන්ට කරන උදව්වක්‌.

ඒ වගේම රෝගීන් බැලීමට එන ප්‍රමාණය අඩු කරගන්න. නිරෝගී පුද්ගලයන් මෙම රෝගීන් බැලීමට පැමිණීමෙන් ඔවුන් රෝගී විය හැකියි. එය අවම කර ගැනීමට අප රෝහලේ අධ්‍යක්‍ෂතුමා ඇතුළු සියලු දෙනාගේ උදව් ඇතිව පැමිණෙන අය පාලනය කර තිබෙනවා.

ඒ වගේම කාර්ය මණ්‌ඩලය ඇතුළු දරුවන්ගේ දෙමාපියන් ඇතුළු සියලු දෙනාට මුඛ හා නාස්‌ ආවරණ පැළඳවීමට යෝජනා කර තිබෙනවා. 

රෝගීන් බැලීමෙන් පසු අත සබන් හා රසායනික ද්‍රව්‍ය යොදා සේදීමට පහසුකම් සලසලා තිබෙනවා. 

මේ සුළු දෙවල් පිළිපැද්දොත් මේ රෝගය පැතිරීම අවම කර ගත හැකියි. 

එසේම පෙර කී වයසේ දරුවන්ට තද උණ, කැස්‌ස, පාචනය ඇත්නම් ඉක්‌මනින් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවන ලෙසද ළමා රෝග විශේෂඥ වෛද්‍ය අරුණ ද සිල්වා මහතා ඉල්ලීමක්‌ කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න