ගොනු නොකළ චෝදනාවලට දුමින්ද වරදකරු කරලා ! - මෙතෙක් හෙලිනොවූ කරුණු රැසක් !!

ගොනු නොකළ චෝදනාවලට දුමින්ද වරදකරු කරලා ! - මෙතෙක් හෙලිනොවූ කරුණු රැසක් !!

කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 05 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කරමින් දෙන ලද භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුවට එරෙහිවගොනුකළ අභියාචනය මේදිනවල ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසා බැලීමට ලක්වන අතර එහිදී 'පංච පුද්ගල විශේෂ විනිශ්චය මණ්ඩලයක්' හමුවේ දිග හැරෙන ආන්දෝලනාත්මක තොරතුරු පිළිබඳව ජනතාව තුල මහත් කුතුහලයක් ඇතිව තිබේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මිය යන්නේ ඉකුත් (2018) පළාත් පාලන මැතිවරණයට පෙර පැවැති 2011 පළාත් පාලන මැතිවරණ දිනයේ සිදුවූ දේශපාලන ගැටුමකදී වෙඩි වැදීමෙන්ය.

මැතිවරණ දිනයේ ඡන්ද විමසීම පැවැත්වෙන අතරතුරේදීම කොළොන්නාව මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද සටන මෙහෙයවමින් සිටි භාරත ලක්ෂ්මන් හා දුමින්ද සිල්වා යන ප්‍රතිපාක්ෂිකයන් දෙදෙනාගේ වාහන දෙක මුල්ලේරියාව ප්‍රදේශයේදී එකිනෙක මුණ ගැසී ඇති බවත්, එහිදී දෙදෙනාම සිය වාහනවලින් බැස උණුසුම් වචන හුවමාරුවක යෙදී ඇති බවත් ඒ අවස්ථාවේදී දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන්ට අතින් පහරක් දී තල්ලු කර දමා ආපසු යන්නට හැරෙද්දී දුමින්ද සිල්වාගේ හිසට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවත් සාක්ෂි විභාගයේදී ප්‍රකාශ වී ඇත.

ඒ සමඟම සිදුවූ තවත් වෙඩි තැබීමකින් භාරත ලක්ෂ්මන් හා තවත් ඔහුගේ ආධාරකරුවන් 04 දෙනකුටද වෙඩි වැදී ඇති අතර බරපතළ තුවාල ලැබූ ඔවුන් පස් දෙනා පසුව මියගොස් ඇති අතර, දුමින්ද සිල්වා බරපතළ තුවාල සහිතව රෝහල් ගත කොට ඇති බවද එහිදී ප්‍රකාශ විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර සිද්ධියේ එක් සැකකරුවකු (11 වැනි සැකකරු) ලෙස නම් කරන ලද දුමින්ද සිල්වා දිගින් දිගටම මාස ගණන් සිහි විසඥව සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටීම නිසා ඔහුගේ කටඋත්තර ලබාගන්නට අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට නොහැකි වීම මත පරීක්ෂණද දිගින් දිගටම කල් ඇදෙමින් තිබිණි.

ජනාධිපතිවරණ වේදිකාවේ කටගැස්මක් : 

කෙසේ වෙතත් 2014 අග භාගය වෙද්දී 2015 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වූ අතර පාලන බලයේ සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව දේශපාලන වේදිකා මත රැව්පිළිරැව් දුන් විවිධ චෝදනා අතර මෙම "ඝාතන සිද්ධිය"ද විය.

අනතුරුව 2015 අගෝස්තු මස පැවැති මැතිවරණයට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාවක් ලෙස තරග වැදුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තම පියාගේ ඝාතනය මහින්ද රාජපක්ෂ රජයේ වැඩක් බවට ප්‍රකාශ කරමින් ජනාධිපතිවරණ වේදිකාවේ සිට දිගින් දිගටම මහ මැතිවරණ වේදිකාව දක්වාම කියාගෙන ගියේ තම පක්ෂය බලයට පත්වුණු වහාම දුමින්ද සිල්වාට නිසැකවම මරණ දඬුවම ලබාදෙන බවය.

2015 දී පාලන බලය හිමිකරගත් රජය දුමින්ද සිල්වාට එරෙහිව නඩු පැවරීම කඩිනම් කිරීම සඳහා නීතිපතිවරයාටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් යොමු කළේය. අනතුරුව දුමින්ද සිල්වාද ඔහුගේ ආරක්ෂක පොලිස් නිලධාරීන්ද ඇතුළුව පස් දෙනකුට එරෙහිව කරුණු ගොනුකොට නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍රයක් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබීය.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලයක්:

අනතුරුව මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක් සේ සලකා කඩිනමින් විභාග කොට නිම කළ යුතුව ඇති බවට පවසා අගවිනිසුරු කේ. ශ්‍රී . පවන් මහතාගේ නියෝගයකට අනුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලයක් පත් කරවනු ලැබීය.

ශිරාන් ගුණරත්න, පද්මිණී රණවක හා එම්. සී. බී. මොරායස් යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල එම විශේෂ මහාධිකරණ විනිශ්චය මණ්ඩලය පත් කරනු ලැබීය.

ඒ අනුව 2011 ඔක්තෝබර් මස 08 වැනි දින සිදුවූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු 5 දෙනාගේ මරණ සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරන ලද නඩුව නොනවත්වා එක දිගටම විභාග කිරීම 2015 දී ආරම්භ විය.

ආර්. දුමින්ද සිල්වා, ඩී. එම්. සරත් බණ්ඩාර, අනුර තුෂාර ද මෙල්, චමින්ද ජයනාත් හා ජනක ප්‍රියන්ත ගලබොඩ යන 05 දෙනාට එරෙහිව අධි චෝදනා ගොනුවුවද 05 වැන්නා වන ජනක ප්‍රියන්ත ගලබොඩ අධිකරණය මඟහැර සිටීම නිසා ඔහු නොමැතිවම ඔහුද ඇතුළු 05 දෙනාටම එරෙහිව නඩුව විභාග විය.

මෙම නඩු විභාගයේදී සාක්ෂිකරුවන් හා කාරියන් 42 දෙනකුගේ සාක්ෂි කැඳවන ලද අතර, අධිකරණ වෛද්‍ය වාර්තාද ඇතුළුව විවිධ ලේඛනමය සාක්ෂි 126ක් ඉදිරිපත් විය.
2015 දී නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධි චෝදනා සම්බන්ධයෙන් පැවැති අඛණ්ඩ නඩු විභාගය 2016 අගෝස්තු මස අවසන් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එහි තීන්දුව ප්‍රකාශ කිරීම 2016 සැප්තැම්බර් මස 08 දිනට දින නියම කරනු ලැබීය.

සභාපති විනිසුරුගේ තීන්දුව !

නඩු තීන්දුවෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේ විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇති චෝදනා කිසිවක් තහවුරු කිරීමට පැමිණිල්ල අපොහොසත්ව ඇති බැවින් විත්තිකරුවන් සියලු දෙනාම නි‍ෙදාස් කොට නිදහස් කිරීමට තමා තීන්දු කළ බවය.

එහෙත් සෙසු විනිසුරුවරුන් දෙදෙනා එකඟත්වයෙන් ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුව වූයේ ඊට ප්‍රතිවිරුද්ධ නිගමනයකි.

විනිසුරු පද්මිණී රණවක විසින් ලියන ලද නඩු තීන්දුව වූයේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් වූ සාක්ෂිවල විවිධ පරස්පරතාවන් අඩු ලුහුඬුකම් හෝ උෟනතාවන් ඇතත් සමස්තයක් වශයෙන් ගෙන බලන විට යම් සිද්ධියක් සිදුව ඇති බවට පැහැදිලි වන බැවින් එම සිද්ධියට වගකිවයුතු අය වශයෙන් චෝදනා ලැබ සිටින විත්තිකරුවන් පස් දෙනාම වරදකරුවන් කරමින් ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කරන බවය.

මෙම බෙදුණු නඩු තීන්දුවේදී 3ට 2ක් වශයෙන් ඉදිරිපත් වූ බහුතර මතය එය වූ බැවින් එම තීන්දුව ක්‍රියාත්මක වන බවද එහිදී විනිසුරු මඬුල්ල ප්‍රකාශ කර සිටියේය.

ආරෝපිත අසත්‍ය චෝදනා:

තීන්දුව ප්‍රකාශ කිරීමට මොහොතකට පෙර විත්තිකරුවන්ට ප්‍රකාශ කළ යුතු යමක් වේදැයි විමසූ අවස්ථාවේ එහි පෙනී සිටි 1 සිට 4 දක්වා විත්තිකරුවන් සිවුදෙනාම ප්‍රකාශ කර සිටියේ තමන්ට එරෙහිව නඟා ඇති චෝදනා ආරෝපිත අසත්‍ය චෝදනා බවත් තමන් එම චෝදනාවන්ට නිවැරැදිකරුවන් බැවින් තමා එකී චෝදනාවන්ගෙන් නි‍ෙදාස් කොට නිදහස් කරන ලෙසට අයැද සිටින බවත්ය.

අනතුරුව නඩු තීන්දු ප්‍රකාශයෙන් පසු විත්තියේ නීතිඥවරුන් විනිසුරු මඬුල්ලට දන්වා සිටියේ තීන්දුව සම්බන්ධයෙන් තමන්ට කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බැවින් තමන් එම තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කරන බවය.

ඒ අනුව ඒ බැව් ලේඛන ගත කරන බව ප්‍රකාශ කළ විනිසුරු මඬුල්ල අභියාචනා පෙත්සම් මහාධිකරණය වෙත භාරදෙන ලෙස දැනුම් දුනි.

එපරිදි සකසන ලද අභියාචනා පෙත්සම් විත්තිකාර පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් කොළඹ මහාධිකරණය වෙත භාරදීමෙන් අනතුරුව ඒවා නිසි පරිදි සකසා නඩු විභාගයේ සාක්ෂි සටහන් ඇතුළු සියලු කරුණු ගොනුගත කොට 2017 මාර්තු මස ශේ‍ර්ෂ්ඨාධිකරණ ලේඛකාධිකාරි එම්. එම්. ජයසේකර මහත්මිය වෙත භාරදෙනු ලැබීය.

එකී නඩුගොනු අදාළ අංශය වෙත යොමුකොට පිරික්සීමෙන් අනතුරුව අගවිනිසුරුතුමන් වෙත ඉඛ්/ඊඒඕ/2-ඒ-ච්/17 (ඩ්ඛ්7781/15) අංකය යටතේ පිටපත් 06කින් යුක්තව ඉදිරිපත් වූ අතර ප්‍රථම වරට එම විශේෂ අභියාචනය 2017 නොවැම්බර් මස 27 වැනි දින කැඳවනු ලැබිණි.

පංචපුද්ගල විශේෂ විනිශ්චය මණ්ඩලයක් :

එකී විශේෂ අභියාචනය විභාග කිරීම සඳහා පංචපුද්ගල විශේෂ විනිශ්චය මණ්ඩලයක් පත් කරන ලද අතර එය අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරේරා සහ විජිත් කේ. මලල්ගොඩ යන ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විය.

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ අධිකරණයක් විසින් ලබාදෙන ලද වඩාත්ම ආන්දෝලනාත්මක නඩු තීන්දුව බවට ප්‍රචලිතව ඇති මෙම නඩු තීන්දුවට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 04 දෙනකු විසින් ඉදිරිපත් කරන ලද විශේෂ අභියාචනය පිළිබඳ නඩු විභාගය මෙම සතියේ මැයි මස 08, 10, 14 හා 18 යන දිනවලදී ඉහත සඳහන් කළ පංචපුද්ගල විශේෂ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ විභාග විය.

ඉහත නඩු තීන්දුව තව තවත් ආන්දෝලනාත්මක තීන්දුවක් බවට කොයි කා අතරත් කතාබහට ලක් වන්නට වූයේ අභියාචනා නඩු විභාගයේදී ජනාධිපති නීතිඥවරුන් විසින් ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කරන ලද සුවිශේෂී තොරතුරු හා විනිශ්චයේදී සිදු කරනු ලැබ ඇතැයි චෝදනා වූ බරපතළ නොසලකා හැරීම් හා පූර්වාදර්ශී නඩු තීන්දු පවා නොසලකා හරිමින්ද චෝදනා පත්‍රයෙන් ඉදිරිපත් කර නොමැති කරුණු සම්බන්ධයෙන් පවා දුමින්ද සිල්වා මහතා වරදකරු කරමින්ද විනිසුරුවරිය සිය නඩු තීන්දුවෙන් බරපතළ විෂමාචාරයන් සිදුකර ඇති බවට කරුණු ප්‍රකාශ කිරීමත් සමඟය.

නඩු තීන්දුවෙහි ඇති අයෝග්‍ය භාවය:

ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතාත් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතාත් දිගින් දිගටම පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ පෙන්වා දුන්නේ නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානත්වය දරන ලද ජේ‍යෂ්ඨ මහාධිකරණ විනිසුරුතුමන් පවා එම තීන්දුවට එකඟ නොවී විත්තිකරුවන් සියලු දෙනා නි‍ෙදාස් කොට නිදහස් කළ යුතු බවට ප්‍රකාශ කර තිබීමෙන්ම මෙම නඩු තීන්දුවෙහි ඇති අයෝග්‍ය භාවය මොනවට පැහැදිලි වන බවය.

නඩු තීන්දුව ලියා ඇති විනිසුරුවරිය එය සකස් කොට ඇත්තේ දුමින්ද සිල්වා මහතා වරදකරු කිරීමේ චේතනාවෙන්ම බව එම තීන්දුව තුළ ඇතුළත්ව ඇති දුමින්ද සිල්වා මහතා පිළිබඳව වන ප්‍රකාශයන් තුළින්ම පැහැදිලිවන බවද එය කිසිසේත්ම සදාචාරාත්මක නොවන බවද හැම විටම විනිසුරුවරයකු හෝ විනිසුරුවරියක තම මධ්‍යස්ථභාවය හා අපක්ෂපාතීත්වය පිළිබිඹු වන ආකාරයෙන් සිය ප්‍රකාශ සිදු කිරීමට ක්‍රියා කළ යුතු බවද ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මෙහිදී කියා සිටියේය.

දුමින්ද වරදකරු කළ හැක්කේ කුමන පදනමක් මතද?

තවද දුමින්ද සිල්වා ඝාතන චෝදනාවට වරදකරු කිරීමට විනිසුරුවරිය ක්‍රියා කොට ඇත්තේ ඔහු ගිනි අවියක් අත දරා සිටි බවක්වත් එකදු සාක්ෂියකින්වත් ප්‍රකාශ නොවී තිබියදී බවද අතරමඟදී මරණකරු හා දුමින්ද සිල්වා පැමිණි වාහන දෙක මුහුණට මුහුණ හමුවූ අවස්ථාවේ වාහන දෙකම නතර කළ බවත් දෙදෙනාම වාහනවලින් බැස ඉදිරියට විත් ඔවුනොවුන් මුහුණට මුහුණ මුණ ගැසුණු බවත්, උණුසුම් වචන හුවමාරුවෙන් පසු දුමින්ද සිල්වා මහතා මරණකරුට අතින් පහරක් ගසා ඔහු ඉවතට තල්ලු කර දමා ආපසු යන්නට හැරුණු බවත්, එම අවස්ථාවේදී දුමින්ද සිල්වාගේ හිසට වෙඩි වැදුණු බවත් පැහැදිලිවම ප්‍රකාශ වී ඇති බවද ඒ මොහොතේම ඔහු එම ස්ථානයෙන් ඉවතට ඔසවාගෙන ගොස් රෝහල් ගත කළ බවද සියලු සාක්ෂිවලින් ප්‍රකාශ වී තිබියදීත් වෙනත් අයකුට වෙඩි තබා ඝාතනය කරන ලදැයි කියන චෝදනාවකට ඔහු වරදකරු කළ හැක්කේ කුමන පදනමක් මතද යන්න මෙහිදී පැන නඟින බරපතළ ප්‍රශ්නයක් බවද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.

තවත් ඉතාමත්ම වැදගත් කරුණක් වශයෙන් ජනාධිපති නීතිඥවරයා පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ පෙන්වා දෙන ලද්දේ, නඩුවේ 12 වැනි විත්තිකරු ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයේ අවසරය මත විත්තිකූඩුවේ සිට කරනු ලැබ ඇති ප්‍රකාශය විශ්වසනීයත්වයෙන් යුත් ප්‍රකාශයක් බවට පිළිගන්නා බව නඩු තීන්දුවේදීද දක්වා ඇතත් ඔහුගේ ප්‍රකාශයෙන් සඳහන් වූ කරුණ කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකරමින් තීන්දුව ප්‍රකාශ කොට ඇති බවය.

විත්තිකූඩුවේ සිට කරන ලද 12 වැනි විත්තිකරුගේ ප්‍රකාශය වී ඇත්තේ තමා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීමට ඉදිරිපත් වූවකු බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම තමා විසින් සිදුකළ බවට පිළිගන්නා ලෙස තමාට බල කළ බවත් තමා නොකළ වරදක් කළ බවට ප්‍රකාශ කළ නොහැකි බැව් ප්‍රකාශ කිරීම නිසා උරණ වූ එම නිලධාරීන් තමාද විත්තිකරුවකු කොට තමාටද එරෙහිව මෙම නඩු ගොනු කරන ලද බවත්ය.

තවද දුමින්ද සිල්වා මහතාගේ හිසෙහි ඉදිරිපස පෙදෙසට වෙඩි වැදී තිබුණු බැව් අධිකරණ වෛද්‍ය වාර්තාවෙන්ද තහවුරු කොට තිබූ බවද එහෙත් පළමුවෙන්ම දුමින්ද සිල්වා මහතාට වෙඩි වැදීම හෝ ඔහුට එම වෙඩි තැබීමෙන් ඉතාමත්ම බරපතළ මරණීය තුවාල සිදුව තිබීම යන කරුණු නඩු තීන්දුවෙන්ම පිළිගෙන ඇතත් එම කරුණු තීන්දුවට අදාළ කර නොගන්නට විනිසුරුවරිය ක්‍රියාකොට ඇත්තේ කෙලෙසකද යන්නද ගැටලුවක් බවද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

 නඩු තීන්දුව නීතියට අනුකූල නොවන බව :

නීත්‍යනුකූල නඩු තීන්දුවක අඩංගු විය යුතු ලක්ෂණයන් පිළිබඳව ප්‍රකාශ කර සිටි ජනාධිපති නීතිඥවරුන් දෙදෙනාම පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ එකින් එක කරුණු ගෙන හැර දක්වමින් විනිසුරුවරිය විසින් ලියා නිකුත්කොට ඇති නඩු තීන්දුව නීතියට අනුකූල නොවන බැව් තහවුරු කිරීමට ඉදිරිපත් කළ හැකි තවත් බොහෝ කරුණු නඩු තීන්දුව තුළින්ම ගෙන හැර දැක්විය හැකි බව කියා සිටියේය.

එම කරුණුද මොනවා දැයි කෙටියෙන් හෝ සඳහන් කරන ලෙස විනිසුරු මඬුල්ල ඉල්ලා සිටි අතර ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතාත් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතාත් පහත කරුණු ගෙන හැර දැක්වූහ.


* දුමින්ද සිල්වා මහතා ගිනි අවියක් භාවිත කළ බවට පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කිසිදු සාක්ෂියකින්වත් ප්‍රකාශ නොවී තිබීමත්.

  • එම ස්ථානයේදී වෙඩි ප්‍රහාරයකට ප්‍රථමයෙන්ම ලක් වූයේ දුමින්ද සිල්වා මහතා බව විත්තිය පමණක් නොව පැමිණිල්ලේ සාක්ෂිවලින් පවා ප්‍රකාශ වී තිබීමත්
    * සිද්ධියෙන් දින 6කට පමණ පසුව පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රබල ආධාරකරුවකු මෙන්ම සමීපතම හිතවතකුද වන ඔවුන් සමඟම කල්ගෙවන 'සංජීව ප්‍රසාද්' නමැති 27 වැනි සාක්ෂිකරුගේ සාක්ෂියෙන් හා තවත් ඔවුන්ගේ සමීපතමයකු වන ප්‍රසන්න සෝලංග ආරච්චි යන අයගේ බිරිය වන නිලංකා මධුෂානී නමැති අයගේ සාක්ෂියද පරස්පරතාවලින් බහුල වූ කිසි ලෙසකත් අධිකරණයකදී පිළිගත නොහැකි සාක්ෂි දෙකක් වන අතර දුමින්ද සිල්වා මහතාට එරෙහිව ඔවුන් දෙදෙනාගෙන් පමණක් ඉදිරිපත් වූ ප්‍රකාශ පිළිගනිමින් දුමින්ද සිල්වා වරදකරු කිරීම ඉතාමත්ම ජුගුප්සාජනක බවත්,
    අවම වශයෙන් එකී සාක්ෂි දෙකෙන් හෝ කිසිදු අවස්ථාවක මෙම ස්ථානයේදී දුමින්ද සිල්වා මහතා ගිනි අවියක් භාවිත කළ බවක් තබා අත දරා සිටි බවක් හෝ ප්‍රකාශ වී නොතිබියදීත් විනිසුරුවරිය විසින් ලියන ලද මෙම තීන්දුව ඔහු වැරැදිකරු කිරීම අරමුණු කර ගනිමින්ම ලියන ලද තීන්දුවක් බවද ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    'පරස්පරතා' සහ 'උෟනතා' 62ක් ගණන් ගෙන නැහැ :

    මෙම නඩු විභාගයේදී නඟා ඇති චෝදනාවන්ට අදාළ නොවන විවිධ කරුණු හා දුමින්ද සිල්වා මහතාගේ චරිතයට හානිදායක වන කරුණු රැසක් සාක්ෂි මඟින් ප්‍රකාශ වී ඇති නමුදු සිද්ධියට අදාළව ඉදිරිපත් වූ කරුණු තුළින් 'පරස්පරතා' සහ 'උෟනතා' 62ක් අධිකරණ නඩු විභාගයේදීම සලකුණු කොට තිබියදීත් ඒ කිසිවක් හෝ නොසලකා හරිමින් මෙම තීන්දුව ප්‍රකාශ කොට ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
    මෙම විශේෂ අභියාචනා විභාගයේදී ප්‍රධාන වශයෙන් සඳහන් වූ කරුණු අතර මෙම නඩුව නීතිපතිවරයා විසින්ගොනු කිරීම හා අපරාධ පරීක්ෂණ නිලධාරීන් කරුණු ගොනු කොට ඇති ආකාරයත්, රජයේ නීතිඥවරුන් සාක්ෂි ඉදිරිපත් කළ ආකාරයත් අනුව මෙම නඩුව හිතාමතා සැලසුම් කොට දේශපාලන වුවමනාවන් සපුරාලීම සඳහා හිතාමතා ගොතා පෙළගස්වන ලද කරුණුවලින් සමන්විත වූ අසම්මත නඩුවක් හා නඩු තීන්දුවක් බවත් ජනාධිපති නීතිඥවරු යළි යළිත් අභියාචන විභාගයේදී ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියහ.
    දේශපාලන එදිරිවාදිකම් පිරිමසා ගැනීම සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරිය විසින් තම ප්‍රතිවාදියා වන දුමින්ද සිල්වාට එරෙහිව තම සමීපතමයකු ලවා සිද්ධියෙන් දින 6කට පසු ඉදිරිපත් කරන ලද සාක්ෂියක් මත පදනම්ව මෙම තීන්දුව ලබාදී ඇති බව ඔවුන් යළි යළිත් කියා සිටිමින් ඉල්ලා සිටියේ පංචපුද්ගල විනිශ්චය මණ්ඩලයේ විනිශ්චයාරූඪව සිටින ගරු උගත් විනිසුරුතුමන්ලා මෙම කරුණු මැනවින් කිරා බලා තෝරා බේරාගෙන මෙකී නඩු තීන්දුවෙහි දෝෂ සහිත බව තහවුරු කොට ගෙන එය ඉවත දමා විත්තිකරුවන් නි‍ෙදාස් කොට නිදහස් කරන ලෙසය.
  • (මව්බිම)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න