විමල් 2004 දාපු ඩීල් මාට්ටු : SF නැත්නම් යුද්දෙ දිනන්න බැරි බවත් පිළිගෙන

විමල් 2004 දාපු ඩීල් මාට්ටු : SF නැත්නම් යුද්දෙ දිනන්න බැරි බවත් පිළිගෙන

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ලෙස කටයුතු කරන 2004 වැනි  සමයේ සිට ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය ප්‍රභූ තන්ත්‍ර සමඟ රහසිගත සම්බන්ධතා පවත්වා ඇති බව අනාවරණය වෙයි.

ඒ පානදුර මාලමුල්ල රණවිරු ස්මාරකය අසල පසුගියදා  පැවති රණවිරු සැමරුමේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අවස්ථාවේ වීරවංශ මන්ත්‍රීවරයා සිදුකළ අනාවරණයක් හරහාය.

එහිදී ඔහු සඳහන් කර සිටියේ 2004 පෙරළිය පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින විට තමා හා සරත් ෆොන්සේකා මහතා අතර හමුවක් සිදුවූ බවත් එහිදී සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපති ලෙස පත්කරන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කර ඇත.

“චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරය දරද්දී සහ මම ජවිපෙ ප‍්‍රචාරක ලේකම් ලෙස සිටියදී තමයි මෙම සිදුවීම වුණේ. දුරකථන ඇමතුමක් ලබා දීපු මාධ්‍යවේදියකු මට පැවසුවා ‘සරත් ෆොන්සේකා කියන හමුදා නිලධාරියා ඔබව හමුවීමට  ඕනෑ කියා පවසනවා’ කියලා. මමත් ඒකට කැමැත්ත පළ කළා. මම වෑන් රථයකින් ගියාම එතුමා කැබ් රථයක් පදවාගෙන ඇවිත් මාවත් රැගෙන ඔහු එවකට පදිංචිව සිටි හමුදා නිල නිවාසය වෙතට පැමිණියා. මම අසුන් ගත්තාම ඔහුගේ නෝනා හැලප වැනි දෙයකින් සංග‍්‍රහ කළා මට මතකයි. ඒ දිනවල අපි චන්ද්‍රිකා ජනාධිපතිවරිය සමඟ 2004 බල පෙරළිය පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටියේ. 

කෙසේ නමුත් අප අතර සිදුවන කතාබහ මැද්දේ සරත් ෆොන්සේකා මහතා මට කියා සිටියා, 2004 බල පෙරළියෙන් පසුව ඔහුට හමුදාපති ධුරය අරන්  දෙන්න කියා. මම ඒ දෙය කරන්නම් කියා ඔහුගෙන් සමුගෙන ආවා. කෙලින්ම ඇහුවොත් ජනාධිපතිවරිය කලබල වන නිසා අපි ඒ පිළිබඳව වෙනත් අය ලවා වටින් පිටින් ඇගෙන් විමසීමක් කළා.

SF නැතුව යුද්ධය දිනන්න බැරි බව පිළිගනියි !

නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප‍්‍රතිචාරය වුණේ ‘අපෝ එයා වගේ කෙනෙක් හමුදාපති කළොත් හමුදා කුමන්ත‍්‍රණයකින් බලය අල්ලා ගනීවි’ කියලයි. දේශපාලන ලෝකයේ හිටපු බොහෝ දෙනකුගේ ෆොන්සේකා පිළිබඳ ආකල්පය ඒකයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ වැඩිමහල් සහෝදරයාගෙන්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමේ ප‍්‍රබලත්වය නිසයි කවුරුත් යහපත් ප‍්‍රතිචාර නොදක්වපු සරත් ෆොන්සේකා විශ‍්‍රාම යාමට මාසයක් තිබියදී සේවා දිගුවක් සහිතව යුද හමුදාපති වූයේ.  කවුරුත් හමුදාපති කරන්න අකමැති වුණු පුද්ගලයා හමුදාපති ධුරයට එදා පත් කළේ මිනීමරු ත‍්‍රස්තවාදයෙන් මේ මව් පොළොව නිදහස් කර ගැනීමට ඔහුගේ ද දායකත්වය ගත යුතු නිසයි.

සියලු ආරක්‍ෂක ප‍්‍රධානීන් නිසි ලෙස කළමනාකරණය කරගෙන, මහා සැලසුමක් සහිතව, පෙරමුණු හතරපහකින් කොටි ත‍්‍රස්තවාදයට එකවර පහර දෙන්න ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයා කටයුතු කළා. ඒ අතරේ අප මේ සටනට අවශ්‍ය මතවාදී මැදිහත් වීම සිදු කරන්න දායක වුණා. එදා සමහරු හැදුවා වැඩ වර්ජන කරලා සටන කෙරෙහි අවධානය වෙන පැත්තකට හරවන්න. මේ සටන ජයග‍්‍රහණය කිරීමට නම් මහජන පක්‍ෂපාතීත්වය වගේම රටේ සියලූ දෙනාගේ අවධානය ඒ දෙසට යොමු කළ යුතුව තිබුණා. ඒ වෙනුවෙන් මතවාදීව කළ යුතු, කළ හැකි සියල්ල අපි විසින් එදා සිදු කළා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න