එළඹෙන ජුනි 3 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තාවකාලික නිලධාරී මණ්ඩලය පත්කිරීමේ පුර්ණ බලය පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලබාදීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එසේම නව නිලධාරී මණ්ඩලයේ කිසිඳු තනතුරක් සඳහා ජන්ද විමසීමක් සිදුනොකිරීමටත් සියළු පත්වීම් පක්ෂයේ පූර්ණ එකඟත්වය මත සිදුකිරීමටත් අවශ්‍ය බවට ජනාධිපතිවරයා සිදුකළ යෝජනාවටද මධ්‍යම කාරක සභාව එකඟවූ බව වාර්තා වෙයි.
දුමී වෙනුවට එස්.බී?
පසුගිය 17 වනදා ජනාධිපති නිල නිවසේ පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරකසභා හමුවේදී මෙම තීරණ ගෙන ඇති බව දන්වන දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ශ්‍රීලනිප මහ ලේකම්ධුරය සඳහා එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා පත්කර ගැනීමේ සුදානමක් ගැනද වාර්තා වන බවය.
එස්.බී. මීට පෙරත් ශ්‍රීලනිප මහ ලේකම්
මේ වන විටත් පක්ෂ මහ ලේකම්ධුරය අමාත්‍ය දුමින්ද දිසානායක දරන අතර එහෙත් ශ්‍රීලනිප 16 කණ්ඩායම ඔහුට එරෙහිව බරපතල විරෝධයක් දක්වමින් සිටියි. ඒ අනුව ඔවුන් පක්ෂ සමඟිය වෙනුවෙන් වන ඉල්ලීම යටතේ පක්ෂ මහ ලේකම්ධුරය වෙනස් කිරීමේ දැඩි ප්‍රයත්නයක සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති සමයේද ශ්‍රීලනිප මහ ලේකම්ධුරය සඳහා පත්වූ අතර පසුව ඔහු පක්ෂයේ කණ්ඩායමක් සමඟ එජාපයට එක්විය. චන්ද්‍රිකා පාලනයට පරිවාස ආණ්ඩුවකට යාමට සිදුවූයේද එස්.බී මන්ත්‍රීවරයාගේ එම ක්‍රියාකලාපය නිසාය.

