Language Switcher

V2025

වැලිකඩ ඝාතනය : රංගජීවගේ ජංගම දුරකථනය ඔස්සේ වැඩිදුර විමර්ශන

වැලිකඩ බන්ධනාගාරයේ  2012 වසරේ නොවැම්බර් මාසයේදී  රැඳවියන් 27 ඝාතනය කිරීමට අදාළව රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක රංගජීව නයෝමාල්ගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊයේ (22) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චමරි වීරසූරිය මහත්මිය හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් ඒ බව සඳහන් කර තිබේ.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා එහිදී අධිකරණයට දන්වා ඇත්තේ  මෙම විමර්ශනයට අදාළ විමර්ශන නිසියාකාරව සිදු නොකළහොත් යුක්තියක් ඉටු නොවන බවත් මෙම සැකකරුවන්ට මෙම නියෝගය ලබා දුන් නිලධාරීන්ද අත්අඩංගුවට ගත යුතු බවත් ය.

එහිදී නඩුවේ පැමිණිල්ල සිදුකර තිබෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ  සිදුවීමට අදාළව යුද හමුදා නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත්  නීතිපති උපදෙස් අනුව වැඩිදුර  කටයුතු කරමින් සිටින බවත් ය. එසේම මේ වන විට සිදුවීමට අදාළ  ගිනි අවි අත්අඩංගුවට ගෙන රස පරීක්‍ෂක වෙත යොමු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් සතුව ඇති මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන හා වෙනත් නීති විරෝධී භාණ්ඩ අත්අඩංගුවට ගැනීම සඳහා 2012 නොවැම්බර් 9 දින පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ආරක්‍ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව සෝදිසි මෙහෙයුමක් දියත් කිරීම හමුවේ බන්ධනාගාරයේ කළහාකාරී තත්ත්වයක් ඇතිවූ බව සඳහන් කෙරුණත් මේ සම්බන්ධව ගවේෂණාත්මකව කරුණු අධ්‍යයනය කළ පාර්ශ්ව අනාවරණය කර සිටියේ සිරකරුවන් ප්‍රකෝප කරවා ගැටුමක් නිර්මාණය කරවීමක් සිදුව ඇති බවය. 

එසේම සිදුවීමේ සාක්ෂිකරුවන් ද ප්‍රකාශකර ඇත්තේ  බන්ධනාගාරයේ ඇතිවූ කළහකාරී තත්ත්වය පාලනය කිරීමෙන් පසුව   රැඳවියන් අතරින් තෝරාගත් රැඳවියන් පිරිසක් වන මාලන් නොහොත් කංකානම්ගේ මලින්ද්‍ර පැල්පොල, නිර්මාල් අතපත්තු, මොහොමඩ් විජය රෝහණ, තුෂාර චන්දන නොහොත් කළු තුෂාර, අන්ද්‍රපුලිගේ ජෝතිපාල, හර්ෂ ශ්‍රී මහ කීර්ති පෙරේරා, රයිගමගේ සුසන්ත පෙරේරා, කොණ්ඩ අමිල නොහොත් මලිත් සමීර පෙරේරා යන රැඳවියන් ඝාතනය කර තිබෙන බවය.

මෙම රැඳවියන් වෙන් කර රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර ඇති බවට කරුණු අනාවරණය වන බවට  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් ජනවාරි මස 30 වැනිදාය.

කෙසේ වුවත් අධිකරණය හමුවේ ඊයේ අනාවරණය වූ  කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක රංගජීව නයෝමාල්  සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා ලබන ජුනි 05 වැනිදා තෙක් රක්‍ෂිතබන්ධනාගාරගත කරන ලෙසට නියම කරමින් අගතියට පත් පාර්ශ්වයන් සඳහන් කරන කරුණු වලට අවධානය යොමු කර විමර්ශන සිදුකරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.