ලෝක බැංකු කණ්ඩායමේ සභාපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

ලෝක බැංකු කණ්ඩායමේ සභාපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ලෝක බැංකු කණ්ඩායමේ සභාපති අජේ බංගා මහතා අතර හමුවක් මැයි 07 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සහ උපායමාර්ගික සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රමුඛ අරමුණක් වී තිබිණි.

ශ්‍රී ලංකාව මෑත කාලීනව මුහුණදුන් ආර්ථික අර්බුදය හමුවේ ලෝක බැංකුවේ සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය, ලෝක බැංකු කණ්ඩා⁣යමේ සභාපතිවරයා වෙත සිය කෘතඥතාව පළ කළ අතර සියලු දෙනාම ඇතුළත් වන සහ තිරසාර සංවර්ධනය සඳහා රජයේ ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ද අවධාරණය කළාය.

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය අගය කළ ලෝක බැංකු කණ්ඩායමේ සභාපති බන්ගා මහතා, ආර්ථිකය යථාතත්වයට පත්කරලීමේ ක්‍රියාකාරී වැඩපිළිවෙලේ ප්‍රධානම සාධකයක් ලෙස නව රැකියා නිර්මාණය කිරීමේ සහ රැකියා ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වැදගත් බව මෙහිදී අවධාරණය කළේය.

සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, සංචාරක සහ නිෂ්පාදන කර්මාන්ත වැනි තීරණාත්මක අංශවල ආයෝජනය කෙරෙහි සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණ.

විශේෂයෙන් කෘෂිකර්මාන්තය පිළිබඳව මෙන්ම එහි ප්‍රධාන අංශ සංවර්ධනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතයේ ශක්‍යතාව හා වැදගත්කම පිළිබඳවද බන්ගා මහතා සිය අදහස් පළ කළේය.

නවෝත්පාදන සහ ඵලදායිතාව සඳහා මෙම කෘතීම බුද්ධිය භාවිතයේ හැකියාවන් ගවේෂණය කිරීමටද ශ්‍රී ලංකාව දිරිමත් කළේය.

නැගී එන කර්මාන්තවල අවශ්‍යතාවන් සමඟ වඩා හොඳින් ගැලපීම සඳහා සෞඛ්‍ය සේවා ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට සහ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය පුළුල් කිරීමට රජය අඛණ්ඩව උත්සාහ දරන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

මෙම හමුවට ලෝක බැංකු කණ්ඩායම නියෝජනය කරමින් එහි විශේෂ උපදේශක Trevor Kincaid, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා දේශීය අංශ අධ්‍යක්ෂ David Sislen, මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා දේශීය අංශ අධ්‍යක්ෂ Gevorg Sargsyan, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ දකුණු ආසියාව සඳහා කලාපීය අධ්‍යක්ෂ Imad Fakhoury, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු (ද්විපාර්ශ්වික) අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන පෙරේරා, සහ එම අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධම්මික ප්‍රේමරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න