අපයෝජනදී කටයුතු කළ යුතු ආකාරය ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් පාසල් වෙත උපදෙස් මාලාවක්

අපයෝජනදී කටයුතු කළ යුතු ආකාරය ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් පාසල් වෙත උපදෙස් මාලාවක්

කොටහේනේ ප්‍රදේශයේ දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එහි සභාපති, මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ  පැවසුවේ , එම සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන සහ බම්බලපිටිය පොලිස් ස්ථානවලින් වාර්තාවක් කැඳවා ඇති බවයි.

පාසලේ කීර්ති නාමයට ආරක්ෂා කිරීම හෝ පැමිණිලිකාර පාර්ශ්වය අධෛර්යට පත්කිරීම වැනි කරුණු නිසා පාසල් තුළ ළමුන්ට සිදුවන ශාරිරික, මානසික හා ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් නොදීම සිදුවන බවට නිරීක්ෂණය වී ඇතැයිද ළමාරක්ෂක අධිකාරිය සඳහන් කළේ ය.

මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ පැවසුවේ, එවැනි තත්ත්වයන් අවම කර ගැනීම සඳහා මෙවන් අපයෝජන අවස්ථාවලදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සහ සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් පහත පරිදි දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

ඒ අනුව යම් අපයෝජන සිද්ධිය පාසල තුළ වාර්තා වූ වහාම විදුහල්පති විසින් හෝ වගකිව යුතු පාර්ශ්වයන් විසින් ඒ පිළිබඳව පැය 24 පුරා ක්‍රියාත්මක 1929 ළමා උපකාරක සේවය මගින් හෝ ජාතික ළමාරක්ෂක අධිකාරිය, අංක 330 , තලවතුගොඩ පාර මාදිවෙල ශ්‍රී ජයවර්ධනපුර, යන ලිපිනය ඔස්සේ ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත වාර්තා කරන්නැයි පාසල්වලට උපදෙස් ලබාදීම.

ළමා අපයෝජනයක සැකකරුවන් යැයි චෝදනා ලබන විදුහල්පතිවරු හෝ ගුරුවරු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටත්, අවසාන නඩු තීන්දුව ලැබෙන තෙක් ඔවුන්ට තවදුරටත් ළමුන් සමග කටයුතු කිරීම වළක්වාලීමට අවශ්‍ය පියවර ගන්නැයි අධ්‍යාපන බලධාරින්ට උපදෙස් ලබා දීම,

එකී වග උත්තරකරුවන්ට එරෙහිව අභ්‍යන්තර විනය පරීක්ෂණ පවත්වන අවස්ථාවලදී වින්දිත ළමයින් තවදුරටත් පීඩාවට පත් නොවන පරිදි එකී පරීක්ෂණ පැවැත්විය යුතු බවට බලධාරින් දැනුවත් කිරීම,

ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් හෝ පොලිසිය මගින් ළමා අපයෝජනවල සැකකරුවන්ට එරෙහිව නීතිය බලාත්මක කරන විට පැමිණිලිකාර ළමයින් පාසලෙන් ඉවත් කිරීම හෝ ළමයින්ට බලපෑම් සිදුකිරීම, එම ළමයින් කොන් කිරීම හෝ ලේබල් කිරීම යන අගතිගාමි ක්‍රියාමාර්ගවලින් වැළකී සිටිය යුතු බවට අධ්‍යාපන බලධාරින් දැනුවත් කිරීම යන කරුණු ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සහ සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත යොමුකල උපදෙස් අතර වෙයි.

ළමයින් සම්බන්ධව සිදුවන අපයෝජන සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමේ කාර්යය වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම සඳහා ඒ පිළිබඳ තොරතුරු නොසඟවා ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත කඩිනමින් වාර්තා කිරීම අත්‍යවශ්‍ය බවද ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න