Language Switcher

V2025

2020 සටන : තරුණ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ විශ්‍රාමික හමුදා ජුන්ටාවක් අතර - අගමැති

2020 ජාතික මැතිවරණය හමුවේ ප්‍රධාන තරගකාරීන් වන්නේ එක්සත් ජාතික පක්ෂය පෙරටු කරගත් තරුණ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ රාජපක්ෂ රෙජීමය  ක්‍රියාත්මක කරවූ විශ්‍රාමික හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුගේ මුලිකත්වයෙන් ගොඩනගා ඇති විශ්‍රාමික හමුදා මණ්ඩලයක් අතර බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ   අද (24) පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය ක්‍රියාවලිය යටතේ එහි ජාතික සංවිධායක වූ අමාත්‍ය නවීන් දිසානායක පක්ෂ රාජකාරි ආරම්භ කල අවස්ථාව අමතමින්ය.

මේ වන විට අනාගතය භාරගැනීම වෙනුවෙන් තරුණ ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් පෙළක් සිටින එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණක් බවත් අනෙක් කිසිඳු පක්ෂයක් සතුව එවැනි ප්‍රජාතන්ත්‍රවාදී තරුණ නායකත්ව මණ්ඩලයක් නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

මේ වන විට පොහොට්ටු පක්ෂයට 2020 සඳහා වන නායකත්වයට ඇත්තේ හමුදාවෙන් විශ්‍රාමගිය ජෙනරාල්වරුන් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුගේ මණ්ඩලයක් බවත් ඔවුන්ගේ අපේක්ෂාව ප්‍රජාතන්ත්‍රවාද තහවුරු කිරීම නොව නැවතත් රෙජීම පාලනයක් බිහිකිරීම බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එක පෝස්ටරයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මුහුණක් පෙන්වන්න පුළුවන්ද?

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,  එම පාර්ශවයේ එක පෝස්ටරයක් පෙන්වන්න ඔය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ මූන දාලා ගහපු. හොඳ වුණත් නරක වුණත් ඔය පාර්ලිමේන්තුවේ කෑගහන එක මන්ත්‍රීවරයෙකුගේ මුහුණක් පෙන්නන්න. දැකලා තියනවද? ළඟදී දැක්කද? ඔක්කොම ඉන්නෙ විශ්‍රාමගිය හමුදා නිලධාරීන්. එදා රාජපක්ෂ රෙජීමය ඇතිකරන්න ගිය අය ඉන්නෙ. අනිත් අය පාර්ලිමේන්තුවේ කොච්චර කෑ ගැහුවත් ඒ හමුදා නිලධාරීන්ගේ පඹයෝ. අපේ අය පාර්ලිමේන්තුවේ නැගිටලා කතා කරනකොට හරියට පක්ෂ නායකයෝ, මන්ත්‍රීවරු හැටියට කතා කරනවා. මෙයාලා එතන කෑගැහුවට කවුද පක්ෂයේ තීරණ ගන්නේ? මෙතන හදන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු රාජපක්ෂ රෙජීමය නැවත ගේන්න. 

badula posterවියත්මග සංවිධානයේ බදුල්ල සම්මන්ත්‍රණයේ පෝස්ටරය  

මේ අය ආවොත් මේ ඉන්න මාධ්‍යවේදීන් අතරින් ගණනාවක් නැති වෙනවා 

දැන් එක පැත්තකින් ඉන්නවා තරුණ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක්, අනිත් පැත්තෙන් ඉන්නවා රාජපක්ෂ රෙජීමය ක්‍රියාත්මක කරපු විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න දැන් මොකක්ද කරන්නෙ? එදා ලසන්ත වික්‍රමතුංග නැතිවුණා. ප්‍රගීත් එක්නැළිගොඩ නැතිවුණා. මම එකක් කියන්නම් ආපහු ඒගොල්ලෝ ඉන්නවනම් මෙතන ඉන්න මාධ්‍යවේදීන් ගණනාවක් ඊළඟ සැරේ නැතිවෙයි.

තමන් විසින්ම තොණ්ඩුව බෙල්ලට දාගන්නද හදන්නේ ?

සමහරු තමන්ගේ බෙල්ල වටේ තමන්ම තොණ්ඩුව දාගන්නවා. මේක හෙට පත්තර වල යන්නේ නෑ. රූපවාහිනි මාධ්‍ය වලත් කවුරුවත් දාන්නෙ නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් අපේ පාක්ෂිකයන් ඒක මතක තියාගන්න. මේ යන්නේ හමුදා පාලනයක් ගේන්න. වෙන නමකින් රාජපක්ෂ රෙජීමය ටූ (2), එච්චරයි තියෙන්නෙ. 

දැන් ඉතිං ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඕනද? රාජපක්ෂ රෙජීමය දෙක ඕනද කියලා පැහැදිළිව තීරණය කරන්න. අපේ පක්ෂයේ අයත් මේ තරුණ නායකත්වය එක්ක අපේ පක්ෂය ජයග්‍රහණයට ගෙනියන්න. ඒ වගකීම මම අරගෙන තියනවා. ඒ නිසා මේ අය දිනවන්න, ශාකා සංවිධාන ශක්තිමත් කරන්න සහයෝගය දෙන්න. ප්‍රජාතන්ත්‍රවාදයද නැතිනම් ඒකාධිපතිවාදයද කියලා ආපහු මේ රට තීරණය කරන්න තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න මේ තරුණ නායකයින් දාලා තියෙන්නේ. ඒ නිසා ඒක ආරක්ෂා කරන්න.

රාජපක්ෂ රෙජීමය 2 : සියළු තීරණ ගන්නේ විශ්‍රාමික හමුදා නිලධාරීන් මණ්ඩලයක් !

මේ අතර පසුගියදා බදුල්ලේ පැවැත්වූ වියත්මග සම්මන්ත්‍රණය සඳහා පොදුජන පෙරමුණ හෝ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කිසිඳු මන්ත්‍රීවරයෙකු වෙත ආරාධනා කර නොතිබූ බවත් අදාළ ප්‍රචාරක ව්‍යාපාරය ඇතුළු සංවිධාන කටයුතු සියල්ල සිදුකර ඇත්තේ හමුදාවෙන් විශ්‍රාමගිය සහ අන්ත ජාතිවාදී සංවිධාන කිහිපයක ක්‍රියාකාරීන් යොදවාගෙන බවද එම ප්‍රදේශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.