සාර්ථක පුරවැසියෙක් කියන්නෙ හොඳ රැකියාවක් කිරීම පමණක් නෙවෙයි - අගමැතිනිය

සාර්ථක පුරවැසියෙක් කියන්නෙ හොඳ රැකියාවක් කිරීම පමණක් නෙවෙයි - අගමැතිනිය

සාර්ථක පුරවැසියෙක් යනු හොඳ රැකියාවක් කිරීම ම නොව අනෙකාගේ අපහසුතා පිළිබඳ, කාන්තාවන්ගේ කාරණා පිළිබඳ සංවේදී වන පුරවැසියෙක් ලෙස සමාජයේ ජීවත් වීමට අවබෝධයක් ඇති අයෙකු වීම යැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ නව යෞවනයේ සනීපාරක්ෂාව පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (17) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති වැඩසටහනක දී ය.

එම වැඩසටහනේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය...

ගැහැනු දරුවන් යම් අපහසුතාවකට පත් වෙනවා නම් පිරිමි පාර්ශවය ඒ පිළිබඳ සංවේදී විය යුතුයි

සනීපාරක්ෂාව අධ්‍යාපනයට සෘජුවම සම්බන්ධයි කියලා අපි විශ්වාස කරනවා. සමහර අයට හිතෙන්න පුළුවන් මොකක්ද අධ්‍යාපනය, සනීපාරක්ෂාව සමග තියෙන සම්බන්ධය කියලා. සනීපාරක්ෂාව සියලු දෙනාගේම අයිතියක්, සියලුදෙනාට ම අවශ්‍ය දෙයක් සහ දත්ත අනුව පෙන්නුම් කරනවා සනීපාරක්ෂක පහසුකම් හරියට පාසලක් තුළ නොතිබීම නිසා විශේෂයෙන් අඩු පහසුකම් තියෙන පාසල්වල ගැහැනු දරුවන්ට මාසෙකට සැරයක්වත් අධ්‍යාපනය අතපසු වෙනවා.

ඒ වගේම තමයි සමාජය තුළ ඔවුන්ට නිදහසේ අවශ්‍ය පරිදි ගැවසෙන්න තියෙන අයිතිය සීමා වෙනවා. ඒ සනීපාරක්ෂක පහසුකම් හරියට නැතිවීම හේතුවෙන්. ශිෂ්‍යාවන් වන ඔබ විතරක් නෙවෙයි අපි සියලු දෙනාත් මේ අත්දැකීම ඕන තරම් විඳලා තියෙනවා. පාසල තුළ විතරක් නෙවෙයි. පොදු පහසුකම් අවම වීම තුළින් කාන්තාවන් මේ අපහසුතාවට පොදු සමාජයේ දි මුහුණ දෙනවා. සනීපාරක්ෂාව කියන එක අතිශයින්ම වැදගත්.

ඔබ අහන්න පුළුවන් පිරිමි අපිට මොකක්ද මෙතන දැනගන්න තියෙන දේ කියලා. මේක ගැහැනු ප්‍රශ්නයක් නේ ඒගොල්ලොම විසඳ ගත්තම ඉවරයි කියලා. නමුත් ඔබටත් සනීපාරක්ෂක ගැටලු තිබෙනවා. ඒ වගේම ගැහැනු දරුවන් යම් අපහසුතාවකට පත් වෙනවා නම් ඒ පිළිබඳ සංවේදී වෙන්න පිරිමි පාර්ශවයට අවබෝධයක් සහකම්පනයක් තිබිය යුතුයි.

සනීපාරක්ෂාව මූලික අයිතිවාසිකමක්

සාර්ථක පුරවැසියෙක් කියන්නේ හොඳ රැකියාවක් කරන එකම නෙමෙයි. සමාජයේ කිසියම් කෙනෙක් අපහසුතාවයෙන් ඉන්නවා නම් ඒ පිළිබඳ සංවේදීවෙන්න පුළුවන් වෙන්න ඕන. කාන්තාවන්ගේ සංවේදී කාරණාවල දි සහකම්පනයක් ඇති වෙන්න ඕන. ඒ වගේම පුරවැසියෙක් ලෙස සමාජයේ ජීවත් වෙන්න අවබෝධයක් ඔබට තියනවා නම් තමයි ඔබ සාර්ථක. මෙතනින් ආරම්භ කරලා පාසල් මට්ටමින් සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම් අපි සිදු කරනවා. අධ්‍යාපනය කියන එක විශාල මාතෘකාවක්, මේ සමාජයට, මේ ප්‍රජාවට වැදගත් වන, නායකත්වය දෙන්න පුළුවන්, සමාජය තුළ සියලු ම දෙනා සුවපත් කරන්න පුළුවන් ඊළඟ පරපුරක් බිහිකිරීමයි අධ්‍යාපනයෙන් සිදු වෙන්න ඕන.

එකිනෙකා පිළිබඳ ගරුත්වය, එකිනෙකාට සලකන ආකාරය ඇතුළු සියල්ල අධ්‍යාපනය තුළ තිබිය යුතුයි. ඒ නිසා සනීපාරක්ෂාව කියන එක සෞඛ්‍යයට පමණක් සීමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සනීප ආරක්ෂාව කියන්නේ ඔසප් චක්‍රය පිළිබඳව කතා කරන එකම විතරක් නෙමෙයි. සනීපාරක්ෂාවට අවශ්‍ය පහසුකම් පාසල් තුළත්, පොදු සමාජයක් තුළත් තිබීම මූලික අයිතිවාසිකමක් ලෙස රජය සලකනවා. සනීපාරක්ෂාව හංගන්න ඕන දෙයක් නෙවෙයි. ඒ වෙනුවෙන් සමාජය මීට වඩා එකිනෙකාට ගරුත්වය තියෙන සමාජ සාධාරණත්වය හා සමානාත්මතාවය තියන, එකිනෙකාව ආරක්ෂා කරන, එකිනෙකාව රැකබලා ගන්න, මනුෂ්‍යත්වයට මුල් තැන දෙන සමාජයක් බවට පත් කළ යුතු යි.''

මෙහි දී නව යොවුන්වියේ සනීපාරක්ෂාව පිළිබඳ විශේෂ දේශනය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අසාන්ති ප්‍රනාන්දු බලපිටිය විසින් සිදු කරනු ලැබුවා ය.

අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, පවුල් සෞඛ්‍ය කාර්යංශයේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිලධාරීන් පාසල් සිසුන් ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

(සටහන - ජයසිරි අලවත්ත)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න