ස්වර්ණවාහිනිය ගන්න සුදීර් ජයරාම් අද එයි 

ස්වර්ණවාහිනිය ගන්න සුදීර් ජයරාම් අද එයි 

ස්වර්ණවාහිනි රුපවාහිනිය පවත්වාගෙන යන ඊඒපී සමාගම් සමූහය මිලදී ගැනීම සඳහා අතරමැදියකු ලෙස කටයුතු කරමින් සිටින මැලේසියානු ව්‍යාපාරික සුදීර් ජයරාම් නැමැත්තා අද (27) දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවත්, ඔහු ඉදිරි දින කිහිපය තුලදී මහ බැංකුවේ ප්‍රධානින් හා රජයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් වාර්තාවේ.

පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය (ඊ ටී අයි ආයතනය) මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතාව සහ ඉන් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑම පිළිබඳ ව සලකා බැලීමෙන් අනතුරු ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊ ටී අයි ආයතනය සතු එහි පරිපාලිත හා උප පරිපාලිත සමාගම්වල අයිතිය සහ ආයෝජන දේපල, එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 75ක පමණ මුදලකට විකිණීම සඳහා ඊ ටී අයි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය දීමටත් ඒ සඳහා පහසුකම් සැලසීමටත් තීරණය කර ඇති බවයි. 

එසේම එ කී ගනුදෙනුව ශ්‍රී ලංකාවේ පවතින නීති රීති සහ රෙගුලාසිවලට අනුකූල ව විය යුතු බවට ද දැනුම් දෙනු ලැබී ය.

ඒ අනුව, අදාළ ගැනුම්කරු විසින් ගෙවිය යුතු එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 75ක මුදලින් ඩොලර් දශ ලක්ෂ 32ක මුදලක් දැනට ලබා දී ඇති අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් දශ ලක්ෂ 5,017.6ක් ලෙස ඊ ටී අයි ආයතනය වෙත ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියාසිටියේය.

කෙසේ වෙතත් මෙම ගනුදෙනුවේ ගැනුම්කාර පාර්ශවය කරුවන්ද යන වග මෙතෙක් අනාවරණය නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙන අතර පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී මේ බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, ගනුදෙනුවේ ඉදිරි කටයුතුවලට බලපෑමක් විය හැකි බැවින් අදාළ ගනුදෙනුව අවසන් වන තෙක් එය අනාවරණය කිරීමට කටයුතු නොකරන බවයි.

wimal 2 1000pxදේශීය ව්‍යාපාරිකයෙක් වැඩි ලංසුවක් දීලා තියෙද්දී ලයිකා මොබයිල්ට EAP විකුණලා'' - විමල් විරවංශ 

මේ අතර පෙරේදා (25) පැවති විසර්ජන පනත යටතේ යෝජනා විවාදය අතරතුර දී අදහස් දැක්වූ ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංහ මහතා, ඊඒපී සමාගම් සමූහය සතු සියලු සමාගම් මේ වන විට ලයිකා මොබයිල් සමාගම වෙත විකිණීමට තීන්දු කර ඇති බවත්, එසේ තීන්දු කර ඇත්තේ දේශීය ව්‍යාපාරිකයෙකු ඊට වඩා වැඩි ලංසුවක් ඒ වෙනුවෙන් ලබා දී තිබූ පසුබිමක බවත් හෙළිදරව් කළේය.

මෙහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංහ මහතා මෙසේ පැවසීය.

“ඊඒපී ආයතනයේ තිබුණු සියලු සමාගම් කාටද තමුන්නාන්සේලා දෙන්න තීන්දු කළේ. ලයිකා මොබයිල් සමාගමට. ලයිකා මොබයිල් කාරයා කියන්නේ කවුද. මුළු ලෝකෙම කුප්‍රකටයි එල්ටීටීඊ සල්ලි.

චන්ද්‍රිකා කුමාරණතුංග නෝනයි, මනෝ තිත්තවැල්ල මහත්තයයි තමයි මේ ගනුදෙනුව පිටිපස්සේ ඉන්නේ.

ලයිකා මොබයිල්කාරයට දුන්නේ, ඊට වඩා වැඩි ලංසුවක් දේශීය ව්‍යාපාරිකයෙක් ඒ වෙනුවෙන් තියලා තියෙද්දී. නීතිත් වෙනස් කරලා, විශේෂ කැබිනට් මණ්ඩල තීන්දුවක් අරගෙන තමයි ලයිකා මොබයිල් කාරයාට දුන්නේ.

එතකොට ලයිකා මොබයිල් කාරයා අතේ තියෙන්නේ සුදු සල්ලිද, කොටින්ගේ සල්ලි නෙමෙයිද එතන ගොඩගැහිලා තියෙන්නේ.“

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න