ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය මෙන්ම පළාත් සභා මැතිවරණය ආදී සියලුම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙලුම් පොහොට්ටුව යටතේ තරග කරන බවත් තමන් සමඟ එක්වන ඕනෑම පාර්ශවයක් ඒ සඳහා වන එකඟතාවකට පැමිණිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් සඳහන් කරයි.
එසේම එක්වන කිසිඳු පාර්ශවයකට පක්ෂය දියාරු කිරීමට ඉඩ ලබා නොදෙන බවත් මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ තම පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගත යුතු බවත් ඔහු සඳහන් කර සිටියි.
රංගිරි දඹුලු රජමහා විහාර භාරකාර අඹගස්වැවේ රාහුල හිමියන් බැහැදැකීම සඳහා අද (27) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව සඳහන් කළේය.
රටේ වර්තමාන තත්වය පිළිබඳවත් ගොවීන්ට සිදුව ඇති හානිය පිළිබඳවත් මහා සංඝරත්නය දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ රංගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාර නාහිමියන් හමුවීමට පිරිස් මහතා ගොස් තිබෙන අතර රටේ සියලු සංවර්ධන කටයුතු අතරමග නවතා රාජ්‍ය නිලධාරීන් දඩයම් කිරීමක ආණ්ඩුව නිරත බවද එහිදී සඳහන් කර ඇත.
වර්තමාන රජයේ දර්ශනය වී ඇත්තේ දේශීය ආර්ථිකය කඩා වැටීමට ඉඩ දී විදේශීය රටවලින් භාණ්ඩ ගෙන්වීම බවද පවසා ඇති ඔහු රජයේ අතිවිශාල දූෂණය සිදුවන බවත් පන්සල්වල සම්පත් කොල්ලකෑම මෙන්ම දේශපාලනඥයන්ට සුඛෝපභෝගී ජීවිත ගත කිරීම සඳහා මහජන මුදල් වියදම් කරන බවද චෝදනා කළේය .

