පොල්ගහවෙල ප‍්‍රධාන දුම්රිය ස්ථානාධිපති හා දුම්රිය ආරක්‍ෂක අංශයේ කාර්යභාර නිලධාරීට කපා කොටා මරා දමන බවට තර්ජනය කරමින් මහජනයා ඉදිරියේ දුම්රිය නිලධාරීන්ගේ ගෞරවය කෙළෙසන පරිදි කටයුතු කළ පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ලිවේරා ගුණතිලක නැමැත්තා වහාම අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමස්ථ ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය ඉල්ලා සිටියි.
වාර්තා වන ආකාරයට ප්‍රාදේශීය සභාවේ මැර සභාපති මෙසේ දුම්රිය සේවකයින් වෙත මරණ තර්ජනය කර ඇත්තේ පොල්ගහවෙල දුම්රිය රක්‍ෂිත ඉඩමක් දේශපාලන බලය යොදා බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කටයුතු කිරීම නිසා ඊට විරුද්ධ වූ නිසාය.
ඒ සම්බන්ධව නිවේදනයක් සහ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිපියක් මඟින් දැනුම්දෙමින් එම සංගමය පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ලිවේරා ගුණතිලක නැමැත්තා වහාම අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීම සිදුකර ඇත.
අදාළ නිවේදනයේ දැක්වෙන ආකාරයට පොල්ගහවෙල ආරක්‍ෂක විවේකාගාරය අසල දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග ෆෝමන් කාර්යාලය හා ගොඩනැගිලි අංශය ඇතුළු දුම්රිය කාර්යාල ගණනාවක් පිහිටි අදාළ භූමිය, දුම්රිය නිවාස හා ගොඩනැගිලි රාශියකින් සමන්විත දුම්රිය රක්‍ෂිත භූමියකි.
ඒ ආසන්න පෞද්ගලික ඉඩම්වල නිවැසියන් විසින් අනවසරයෙන් යාම්, ඊම් සඳහා කෙටි මාර්ගයක් ලෙස මෙම භූමිය පරිහරණය කර ඇත. එම පෞද්ගලික නිවාසවල නිවැසියන් සඳහා නීත්‍යානුකූලව වෙන්කර දී ඇති මාර්ගය පරිහරණය නොකර, දේශපාලන බලය යොදා ගනිමින් මෙම දුම්රිය රක්‍ෂිත භූමිය කීප දෙනෙකුගේ වුවමනාවට දේශපාලන වාසි ලබාගැනීම සඳහා යොදාගැනීම කිසිසේත්ම නොකළ යුත්තකි.
දුම්රිය දේපළ රජයේ දේපළ වන බැවින්, මෙම දුම්රිය නිලධාරීන් රජයේ නිලධාරීන් ලෙස තමන්ගේ රාජකාරි වගකීම ඉටු කිරීමේදී, දේශපාලන මැරයින්ගෙන් ඔවුන්ට එල්ලවී ඇති මැර තර්ජනය පිලිකුල් සහගතව හෙලා දකින අතර, දුම්රිය නිලධාරීන් ආරක්‍ෂා කරගැනීම අපගේ වගකීමකි.
තම රාජකාරි වගකීම නිසි පරිදි ඉටුකරන නිලධාරීන්ගේ ස්වාධීන අයිතිය ආරක්‍ෂා කිරීම අපගේ වගකීම වන බව පෙන්වා දෙන අතර, එවැනි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරන මැරයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ඔබ සතු වගකීමක් වන බවද අපගේ විශ්වාසයයි.
එසේ හෙයින්, මෙම සිද්ධිය පදනම් කරගනිමින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණවීම වැලැක්වීම සඳහා මෙම සභාපති වරයා වහාම අත්අඩංගුවට ගෙන නීතිමය පියවර කඩිනමින් ගන්නා ලෙසත්, ඔබ ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අප සංගමය දැනුවත් කරන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

