බැකෝ සමන්ගේ ඥාතීන්ගේ බැංකු ගිණුම්වලින් කෝටි නවයක් සංසරණය වෙලා - නිතිපති

බැකෝ සමන්ගේ ඥාතීන්ගේ බැංකු ගිණුම්වලින් කෝටි නවයක් සංසරණය වෙලා - නිතිපති

බැකෝ සමන්ගේ නැනා සහ මාමණ්ඩිගේ බැංකු ගිණුම්වලින් කෝටි 9 කට ආසන්න මුදලක් සංසරණය වි ඇති බව නිතිපති වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි අතිරේක නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහර්ෂි හේරත් අද (9) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නාය.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේදී,

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන්ගේ බිරිඳ අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය මේ බව සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහර්ෂි හේරත් සඳහන් කර සිටියේ, මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

අතිරේක නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහර්ෂි හේරත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කර සිටියේ,

" ස්වාමීනි 2024, 2025 වර්ෂ වල මෙම සැකකාරිය සහ ඇගේ සමීපතයින් විසින් විශාල මුදලක් උපයා තිබෙනවා. බැකෝ සමන්ගේ බිරිඳගේ සහෝදරිය වන දේශානි ලක්‍ෂානි නැමැත්තියගේ බැංකු ගිණුම් හරහා 2024 වර්ෂයේ ලක්ෂ දෙසිය හතරක මුදලකුත්, 2025 වර්ෂයේ ලක්ෂ පන්සිය හැට තුනක මුදලකුත් සංසරණය වී තිබෙනවා. "

"මෙම සැකකාරියගේ පියා වයස අවුරුදු පනස් හයක් වයසැති ගඩොල් කපන පුද්ගලයෙක් වන බව දක්වා තිබුනද ඔහු 2025 වර්ෂයේ ලක්ෂ 114 ක මුදලක් ඔහුගේ බැංකු ගිණුම් හරහා හුවමාරු කර තිබෙන බවයි."

" ස්වාමීනි මෙලෙස අති විශාල ලෙස බැංකු ගිණුම් හරහා මුදල් සංසරණය වී තිබීමෙන් පැහැදිලි වෙනවා මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව එම ජාලය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කරනවා. ස්වාමීනී ඇඹිලිපිටිය ජාවාරමේදී හෙළිවී තිබෙනවා මෙම සැකකාරිය පලා ගොස් වවුනියාව ප්‍රදේශයෙන් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙන බව. ස්වාමීනි මෙම සැකකාරිය කලින් විවාහ යේ දරුවාගේ උප්පැන්න සහතිකය වෙනස්කර තමයි ව්‍යාඡ ලෙස විදෙස් ගමන් බලපත්‍ර අරන් තිබෙන්නේ, ස්වාමීනි ඒ සම්බන්ධයෙන් වවුනියා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන ලෙස මෙම සැකකාරියට නොතිසි නිකුත් කර තිබෙනවා."

" ස්වාමීනි ,සැකකාරිය සතු ඩුබායි රටෙහි බැංකු ගිණුම් හතරක් තිබෙන බවත් එම බැංකු ගිණුම් පිළිබඳව එෆ්. අයි.යු එකට මේ වන විට කරුණු වාර්තා කර තිබෙනවා.මෙම සිද්ධියට මෙම සැකකාරිය සම්බන්ධ බවට මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ තුනක් සටහන් කරගෙන තිබෙනවා."

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහර්ෂි හේරත් සඳහන් කර සිටියේ,

සැකකාරිය සතු බැංකු ගිණුම් 5 ක් ඇතුළු ඇයගේ සමීපතීන්ගේ බැංකු ගිණුම් 13ක් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇති බවයි.

සිද්ධියට අදාළ සැකකාරිය සම්බන්ධයෙන් 2020 වර්ෂයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව එම ප්‍රකාශවල සඳහන් වන බවද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය කරුණු දැක්වූවා.

සැකකාරී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකාරිය සම්බන්ධයෙන් මහාධිකරණයේ තහනම් කළ ගිණුම් සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, සැකකාරිය සම්බන්ධයෙහි 54 වගන්තිය යටතේ මත්ද්‍රව්‍ය ඡාලයට සම්බන්ධව තිබෙන කරුණු පිළිබඳ ව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරිය ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න