දඹුල්ලේ ශීත ගබඩාව අක්‍රීය යි; ගොවීන්ගේ අල, ලූනු කසළ ගොඩට

දඹුල්ලේ ශීත ගබඩාව අක්‍රීය යි; ගොවීන්ගේ අල, ලූනු කසළ ගොඩට

දඹුල්ල ප්‍රදේශයේ එළවළු පලතුරු සහ ලුණු අස්වනු අස්වනු බහුල කාලයේ දී ගොවීන්ගෙන් ඒවා සාධාරණ මිලකට මිලදී ගෙන ශීත ගබඩාවේ තැන්පත් කර අස්වනු හිඟවන කාලයට ඒවා සාධාරණ මිලකට පාරිභෝගිකයාට සැපයීම සඳහා ඉන්දීය රජයෙන් රුපියල් මිලියන පන්සීයකට වැඩි මුල්‍ය අනුග්‍රහයක් ලබාගෙන ඉදිකරන ලද ශීත ගබඩාව අපරිභෝගව තිබීමෙන් ප්‍රදේශවාසී ගොවි ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.

පසුගිය යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ යෝජනාවක් අනුව ඉන්දීය ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව ඉදි කළ මෙම ගබඩා සංකීර්ණය ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර දිසානායක අතින් පසුගිය අප්‍රේල් මස විවෘත කෙරිණි.

විදුලි බිල පමණක් රුපියල් ලක්ෂ 84ක්...!

පසු අස්වනු හානිය අවම වන ලෙසින් අස්වනු බහුලව ලැබෙන කාලයට මේට්‍රික් ටොන් පන්දහසක පමණ එළවළු සහ පලතුරු ගබඩා කිරීමේ පහසුකම් මෙම ගබඩා සංකීර්ණය සතු ය. එහෙත් ආරම්භයේ සිට ම එය පැවතියේ අකර්මන්‍ය තත්ත්වයෙනි.

එසේ වුව ද මේ අකර්මණ්‍ය ගබඩා සංකීර්ණයේ විදුලි බිල පමණක් රුපියල් ලක්ෂ 84 ක් විය.

එම මුදලද ගෙවා ගත නොහැකිව හිඟව තිබූ බව මීට මාස කීපයකට පෙර වාර්තා විය. මෙතරම් දැවැන්ත ගබඩා සංකීර්ණයක් අත ළඟ තිබියදීත් ගොවීන්ට තම එළවළු සහ පලතුරු අලෙවි කර ගැනීම බරපතළ ගැටලුවක් වී තිබේ.

මේ නිසා දඹුල්ල අවට ගොවි ජනතාවට අදටත් සිය අස්වනු අලෙවි කරගත නොහැකිව ඒවා සත්ත්ව ආහාර ලෙස සතුන්ට හෝ කසළ ගොඩවලට දමා හිස් අතින් සිය නිවෙස් බලා යෑමට සිදුව තිබේ.

පැමිණිල්ල ඉන්දියානු මහකොමසාරිස් වෙත...

ඉන්දීය අගමැතිතුමා අතින් උත්කර්ෂවත් ලෙස විවෘත කළ එම ගබඩා සංකීර්ණය විවෘත කර දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට වාර ගණනාවක් දැන්වු නමුත් එය ඉටු නොවන නිසා මෙයට ආධාර සැපයු ඉන්දියානු රජයට ඒ බව දන්නවා සහනයක් ලබා ගැනීම සඳහා කොළඹ සිටින ඉන්දියානු මහකොමසාරිස්තුමා වෙත ගොවි ජනතාව විසින් තමන්ගේ මෙම ගැටලුව සඳහන් කොට මහජන පෙත්සමක් සකස්කර භාරදීමට තීන්දු කළ බව දඹුල්ල ගොවි සංවිධාන නියෝජිතයෝ කීපදෙනෙක් අප වෙත පැවසූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න