විපුලී නිරෝෂිණී හෙට්ටිආරච්චි පිළිබඳ මතක සැමරුම සහ 'විපුලි - සුවිපුල් මතකාවලී' කෘතිය දොරට වැඩුම නොවැම්බර් 13 වන බ්‍රහස්පතින්දා ප.ව. 03.00 ට කොළඹ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
විපුලි දුටු පළමු දවස
අප මිත්‍ර Kamal Perera ගේ පළමු නවකතාව වූ 'කඳු යාය නිසලයි' නවකතාව පිළිබඳ සාකච්ඡාවක් 1992 වසරේ ජූලි මාසයේ දී (?) කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ දේශන කාමරයක දී පැවැත්විණි. ඊට සහභාගී වන්නට මට ආරාධනා කළේ එකල ද මා සමීප මිත්‍ර ලියනගේ අමරකීර්ති ය. ඔහු එ'දවස එම විශ්වවිද්‍යාලයේ දෙවන වසර සිසුවෙකු විය.
මම විශ්වවිද්‍යාලයකට මුලින්ම පය තැබුවේ ද එදා ය. මට විපුලි අක්කා මුලින්ම හමු වූයේ ද එදා ය. තැඹිලි පැහැ සහ රතු පැහැ කුඩා මල් පිරුණු, බෝරිච්චි අත් ඇති ගවුමක් ඇඳ සිටි ඈ පය ලා සිටියේ චාම් හම් සෙරෙප්පු දෙකකි. සාකච්ඡාව අවසන දේශන කාමරයේ කොරිඩෝවේ බිත්ති කණ්ඩියට හේත්තු වී සිටි ඇයට අමරකීර්ති මාව හඳුන්වා දුන්නේ 'මෙයා අපි කාටත් වඩා පොත් කියවන කෙනෙක්' කියා ය.
අමරකීර්ති සුපුරුදු පරිදි තැඹිලි හා දුඹුරු පැහැ බතික් කමිසයත්, අව පැහැ ගැහුණු දුඹුරු පාටැති කලිසමත් ඇඳ, කළු බාටා සෙරෙප්පු දෙකත් පැළඳ සිටියේ, දකුණු උරහිසෙහි නිතර වූ සන්න්‍යාසි මල්ල ද, වමතෙහි කළු කුඩය ද රඳවාගෙන ය. ඒ සන්‍යාසි මල්ලේ පොත් දෙක තුනක් නොවැරදිණි.
ස්ත්‍රීන් දෙදෙනකුට මැදිව
නිහඬභාවයේ මූර්තියක් බඳු වූ විපුලි අක්කා පොදු තැනක දී කතා කරනු ඇසීම එකල අතිශය විරල දසුනක් විය. එදායින් පසු මා ඈ යළි දුටුවේ ඊට සති කිහිපයකට පසු මරදාන, ඩීන්ස් පාරේ, සමාජ හා සාමයික කේන්ද්‍රයේදී මහාචාර්‍ය සුචරිත ගම්ලත් විසින් ඇරඹි කලා රස වින්දන දේශන මාලාවේ දී ය. එහි පළමු දිනයේ ආරම්භක දේශනය දා එහි ඉදිරි පෙළ අසුන් හී ස්ත්‍රීන් තිදෙනෙකු වාඩි වී සිටියහ. මොනිකා රුවන් පතිරණ කිවිඳිය මැදි කරගෙන වාඩි වී සිටි අනෙක් දෙදෙනාගෙන් අයෙකු විපුලි අක්කා වූ අතර, අනෙක් තරුණිය ලා රෝස පැහැ පසුබිමෙහි කුඩා රතු මල් වැටුණු ගවුමක් ඇඳ සිටි, නිතඹිනුත් පහළට වැටෙනා තරම් දිගැති ගන කළු පැහැ පිරුණු වරලසකින් යුතු වූයේ, කදිම සිනහවෙන් සියල්ලන් වශීකෘත කරන්නී, රූමතියක ද වූවා ය.
තරහ වෙලා යාළු වෙලා...
එලෙස ඇරඹුණු විපුලි මිතුදම වසර බොහෝ ගණනක් පැවතිණි. ඇගේ මුල්ම කවි පොත වූ 'නික්මනක නිමිත්තක්' අරබයා මා ලියූ හාෆ්ෂීට් පිටු පහළවක දිගු ලිපිය තවමත් ඇගේ පුස්තකාල කාමරයේ තිබෙනවා ඇත. ඊට ප්‍රතිචාර ලෙස ඈ එවූ දිගු ලිපිය අද ද මා සතුව ඇත. දෙදෙනා ම නොදන්නා හේතුවකට දශක එකහමාරක් තරම් දිගු කතා බහ නොකරන විරසකයකින් පසු අප දෙදෙන යළි මිතුරු වූයේ ජයතිලක කම්මැල්ලවීර මහතා ගේ නිවසේ පැවති චිත්‍ර ප්‍රදර්ශනයේදී ය. විපුලී එහෙම ය. තරහ වුණොත් තරහ වුණා ම ය; මම ද ඇයට නොදෙවැනි වීමි.
තරු රසි ගේ පණිවිඩය
1992 දී මුණ ගැසෙන විට නිහඬ තරුණියක වූ ඇය පසුව මට යළි මිතුරියක ලෙස සමීපවන විට බොහෝ සේ දොඩමලු, ඇතැම්විට ආවේගශීලී සහ කලබලකාරී කාන්තාවක වූවා ය. වියෝවීම් හී වේදනා නොදැනෙන ජීවන අඩවියකට පැමිණ සිටින මා තුළින් මරණ බිය පලා ගොස් දැන් වසර කිහිපයකි. සමීපතමයින්ගේ වියෝවීම් ගැන ද මට දැන් ඇත්තේ ස්මෘති සිහිවටන පමණකි. පැමිණි ඇත්තෝ සැවොම යා යුතු ය. 'පැරණි මළවුන් තරුණ මළවුන්ට ඉඩදිය යුතුය. 'විපුලි අක්කා මිය ගිය පුවත මට තරු රසී දුරකථනයෙන් පැවසුවේ එදින උදෑසන හයට පමණ ය. සුව නින්දක මුදුනෙහි සිටි කුඩා රතු මල් වැටුණු රෝසපාට ගවුම හැඳ සිටි රුවැත්තියගේ වම් බාහුවට සෙමෙන් තට්ටු කර 'විපුලි අක්කා නැති වෙලා' යි කීවෙමි. ඈ විස්මිත දෑසින් මා දෙස බලා සිටියා ය.
"...."
"විපුලි අක්කා ඊයේ රෑ නැති වෙලා. තරූ කතා කරල කිව්වෙ..."
ඉන්පසු ඈ දිගු වේලාවක් හඬා වැලපුණා ය; කොට්ටය ඇගේ කඳුලින් තෙත් විය; එය සිදු වී දෙ වසරක් ගතව ඇත. මිලින වී ගිය විපුල කුසුමියණි, දිගු කල් සුවඳ දෙමින් අප මතක මත රැඳී ඉන්න.
(සටහන - ජනක ඉනිමංකඩ)

