අපදා තත්ත්වය ප්‍රතිසංස්කරණය සඳහා වන සැලසුම් පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කරති

අපදා තත්ත්වය ප්‍රතිසංස්කරණය සඳහා වන සැලසුම් පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කරති

ගංවතුර සහන කටයුතු සහ යළි යථා තත්ත්වයට පත් වීම මෙන් ම ප්‍රතිසංස්කරණය සඳහා වන සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සහ විදේශ අමාත්‍යවරයා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

එම අමාත්‍යංශය මේ බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

මතු පළ වන්නේ එම නිවේදනය යි.

මාධ්‍ය නිවේදනය

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පසු ජාතික ප්‍රතිසාධනය සහ නැවත ගොඩනැගීමේ ප්‍රයත්න පිළිබඳව, ශ්‍රී ලංකාව වෙත ප්‍රතීතනය කර ඇති විදේශ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, ජාත්‍යන්තර සංවිධාන, විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ නිර්වේතනික කොන්සල්වරුන් දැනුවත්  කිරීම සඳහා පැවැති රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවේ සම-මූලිකත්වය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් දරනු ලැබිණි.

මෙම හදිසි අවස්ථාවේ දී ලබාදුන් කඩිනම් සහයෝගය සම්බන්ධයෙන් මෙන්ම, රට පුළුල් ලෙස ප්‍රතිසාධන ක්‍රියාමාර්ග අනුගමනය කරන අවස්ථාවේ දී ලබා දුන් සහයෝගීතාව සහ සහාය වෙනුවෙන්, අග්‍රාමාත්‍ය අමරසූරිය සියලු ම රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, ජාත්‍යන්තර සංවිධාන සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට සිය අවංක කෘතඥතාව පළ කළා ය.

හදිසි ප්‍රතිචාර දැක්වීමේ අවධියේ සිට යථා තත්ත්වයට පත් වීමේ අවධියට

ශ්‍රී ලංකාව මේ වන විට හදිසි ප්‍රතිචාර දැක්වීමේ අවධියේ සිට යථා තත්ත්වයට පත් වීමේ සහ ප්‍රතිසංස්කරණ අවධියට සංක්‍රමණය වී ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා ය. බලපෑමට ලක් වූ සියලුම දිස්ත්‍රික්කවල විදුලිය, ජල සැපයුම, ප්‍රවාහන සම්බන්ධතා, සෞඛ්‍ය පහසුකම් සහ විදුලි සංදේශ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම රජයේ ක්ෂණික ප්‍රමුඛතා අතරට ඇතුළත් වන බවත්, එමඟින් ප්‍රජාවන්ට ඉතා කඩිනමින් ස්ථාවරත්වය කරා නැවත පැමිණිය හැකි බවත් ඇය අවධාරණය කළා ය.

පුළුල් අවශ්‍යතා තක්සේරුවක්

සංවර්ධන පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව පුළුල් අවශ්‍යතා තක්සේරුවක් පවත්වන බවත්, එහි ප්‍රතිඵල යථා තත්ත්වයට පත් වීමේ සහ ප්‍රතිසංස්කරණ සැලසුම් සඳහා මග පෙන්වනු ඇති බවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළා ය. මාර්ග, පාලම් සහ ප්‍රවාහන සම්බන්ධතා අලුත්වැඩියා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම; ඇළ මාර්ග, වාරිමාර්ග පද්ධති යළි යථා තත්ත්වයට පත් කිරීම; ආරක්ෂිත ජලය, සනීපාරක්ෂාව සහ සනීපාරක්ෂක සේවා ප්‍රතිසංස්කරණය කිරීම; සහ සෞඛ්‍ය හා පාරිසරික අවදානම් අවම කිරීම සඳහා මහා පරිමාණ අපද්‍රව්‍ය කළමනාකරණය සහ සුන්බුන් ඉවත් කිරීම ඇතුළු හඳුනාගත් ප්‍රමුඛතා ක්ෂේත්‍රවලට සහාය වන ලෙස අග්‍රාමාත්‍යවරිය සියලු ම ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ට ආරාධනා කළා ය. අඛණ්ඩ ජාත්‍යන්තර සහයෝගීතාවයේ අවශ්‍යතාව නැවත අවධාරණය කළ අතර සියලු ම නිලධාරීන්, පළමුව ප්‍රතිචාර දැක්වූවන් සහ පාර්ශ්වකරුවන්ට දැක්වූ නොපසුබට උත්සාහයන් වෙනුවෙන් සිය ස්තූතිය පළ කළා ය.

අතරමංව සිටින සියලු ම සංචාරකයින් එම ප්‍රදේශවලින් ඉවතට  

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, බලපෑමට ලක් වූ ප්‍රදේශවල වත්මන් තත්ත්වය පිළිබඳ දළ විශ්ලේෂණයක් මෙන්ම කාලීන වේගවත් හානි තක්සේරු කිරීම්වලින් ලබාගත් තොරතුරු ද ඉදිරිපත් කළේ ය. වනජීවී උද්‍යාන, සමුද්‍ර උද්‍යාන සහ සංස්කෘතික ආකර්ෂණීය ස්ථාන ඇතුළු ප්‍රධාන සංචාරක ස්ථාන නැවත විවෘත කර ඇති බවත් ඒවාට ප්‍රවේශ විය හැකි බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා, ශ්‍රී ලංකා සංචාරක මෙහෙයුම්කරුවන් ගේ සංගමයේ සහ ශ්‍රී ලංකා හෝටල් සංගමයේ නියෝජිතයින් සමග එක්ව අවධාරණය කළ අතර, සමස්ත සංචාරක මෙහෙයුම් අඛණ්ඩව ස්ථාවර තත්ත්වයක පවතින බැවින්, සංචාරක පැමිණීම් ද දිරිමත් කළේය. බලපෑමට ලක් වූ ප්‍රදේශවල අතරමංව සිටින සියලු ම සංචාරකයින් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට කඩිනම් පියවර ගෙන ඇති බව ඔහු තවදුරටත් අවධාරණය කළේ ය.

නිතිපතා සංචාරක උපදේශන සමාලෝචනය කිරීම දිරිමත් කරයි

ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස අඛණ්ඩව තෝරා ගැනීම, ජාත්‍යන්තර ප්‍රජාවට මේ අවස්ථාවේ දී මෙරටට ලබා දිය හැකි ශක්තිමත් ම සහයෝගය වනු ඇති බව සඳහන් කරමින්, බලපෑමට ලක් වූ ප්‍රජාවට සහාය වන පරිදි මූලික වැඩිදියුණු කිරීම්වලට අනුකූලව සංචාරක උපදේශන නිතිපතා සමාලෝචනය කිරීම දිරිමත් කරන ලෙස සංචාරක කර්මාන්තයේ පුරෝගාමීහු, රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවෙන් ඉල්ලා සිටියහ. මෙම රැස්වීමට සහභාගී වූ රාජ්‍යතාන්ත්‍රිකයින් සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් ශ්‍රී ලංකාව සමග ඔවුන් ගේ සහයෝගීතාව නැවත තහවුරු කළ අතර, රට යථා තත්ත්වයට පත් කිරීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහය වීම අරමුණු කර ගනිමින් දැනට ක්‍රියාත්මක වන මුලපිරීම් සහ සැලසුම්ගත සහයෝගීතාවයේ පියවර පිළිබඳව දැනුවත් කළහ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ
 2025 දෙසැම්බර් 05 වැනි දින

 

 

harini2

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න