මහියංගනය රෝහලේ සේවය කිරීම ජීවිත අවදානමක් !

මහියංගනය රෝහලේ සේවය කිරීම ජීවිත අවදානමක් !

මහියංගනය මූලික රෝහලේ වැඩ බලන විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය ගේ මෝටර් රථය රෝහල් භූමියේ නවතා තිබියදී ඊයේ (05) එම රෝහල් සේවකයකු සහ නාඳුනන පුද්ගලයකු විසින් එය අසාමාන්‍ය ලෙස වීඩියෝ ගත කිරීමක් පිළිබඳ ව එම වෛද්‍යවරිය පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇති බව වාර්තා වේ.

මෙම වෛද්‍යවරිය මීට පෙරද රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා විසින් හිංසනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් 02 මහියංගනය පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇති අතර අදාළ වෛද්‍ය අධිකාරීවරයාගේ හිතවතකු යයි පැවසෙන රෝහල් සේවකයකු විසින් මෙසේ සිය වාහනය වීඩියෝ ගත කරමින් සිටි බව වූ ආරංචියට තමන් එම ස්ථානයට යන විට අදාළ සේවකයා වහා එතනින් අතුරුදන්ව ඇති බවටද ඇය පොලිසිය වෙත සඳහන් කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයක් සම්බන්ධ ප්‍රශ්නයක් මුල් කොට ගෙන මහියංගණය රෝහලේ වැඩ බලන අධිකරණ විශේෂඥ වෛද්‍යවරිය වෙත වෛද්‍ය අධිකාරිවරයා විසින් කරන ලද පහර දීමට තැත් කිරීම සහ තර්ජනය කිරීම ඇතුළු හිංසනයන්ට එරෙහිව යොමු කළ පැමිණිල්ලද මෙතෙක් විභාගයට ගෙන නොමැති බව සඳහන් වේ.

පෙරේදා (5) වාහනය වීඩියෝ ගත කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ලද ගොනු කිරීමට ඇය මහියංගණය පොලිසියට ගිය අවස්ථාවේදී පොලිසිය මෙම පැමිණිල්ල සටහන් කර ගැනීමට මැලිකමක් දක්වා ඇති අතර පසුව මහියංගනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුවත් කර ඔහු මඟින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා ගෙන ඇති බවද සඳහන් වේ.

මෙම පැමිණිල්ල යොමු කර ඇය යළිත් රෝහලට පැමිණෙන අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයකු යවා ඇති වෛද්‍ය අධිකාරීවරයා ඇයගේ නිල මුද්‍රාව ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයිද එය එසේ ලබා දීම ඇය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

මෙම සිදුවීම් සියල්ල සලකා බැලීමේදී තවදුරටත් මෙම රෝහල තුළ රාජකාරී කිරීම සිය ජීවිතයට අවදානම් බව දක්වමින් තමන්ට කඩිනමින් ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස වැඩ බලන විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වත ලිඛිතව ඉල්ලීමක් කිරීමටද පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

මේ අතර සෞඛ්‍ය ආරංචි මාර්ග තදුරටත් සදහන් කරන්නේ මහියංගනය මූලික රෝහලේ වසර 10කට ආසනන් කාලයක් තිස්සේ සෙවය කරන මෙම වෛද්‍ය අධිකාරිවරයාට සිය වෘත්තීය අවභාවිතාවන් සම්බන්ධයෙන් මේ වන විටත් අමාත්‍යංශ මට්ටමින් විමර්ශණයක් සිදුවෙමින් පවතින බවයි.

(lankasara)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න