Language Switcher

V2025

වෛද්‍යවරුන්ගෙන් 24%ක බද්දක් ගන්නේ නෑ !

රජයේ රෝහල්වල සේවය කිරීමට අදාළව කිසිඳු වෛද්‍යවරයෙකු 24%ක බදු මුදලක් ගෙවීමට නොමැති බවත් ඒ හමුවේ  විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය  නව දේශීය ආදායම් පනත සම්බන්ධව විකෘති අදහස් දක්වමින් ඉතාම අසාධාරණ ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව  මුල්‍ය වෙළඳපොල විශ්ලේෂකයින් සඳහන් කර සිටියි.

ඔවුන් ඒ සම්බන්ධව අදහස් දක්වා සිටියේ නව දේශීය ආදායම් පනත මඟින් විශේෂඥ වෛද්‍යවරුන්  ආවරණය වන ආකාරයට පනවා ඇති සෘජු බද්ද ඉවත් කිරීමට රජය එකඟ නොමැති බැවින් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අද (13) තීරණය කරන බව  විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති සුනිල් විජේසිංහ සිදුකර ඇති ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්ය.

මොකක්ද මේ 24% බදු ප්‍රතිශතය ?

නව බදු ක්‍රමය යටතේ තම ආදායම්වලින්  24%ක බද්දක් අයකරන්නට නියමිත බවත් එම බදු ප්‍රතිශතය 12%ක් දක්වා අඩුකර ගැනීමට රජය සමඟ සාකච්ඡා පැවැත්වූ නමුත් අදාළ බදු අඩුකිරීමට බලධාරීන් එකඟනොවූ බවද ඔහු සඳහන් කර ඇත.

මීට පෙර  විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අදාළ බදු පැනවීමට විරෝධය දක්වමින් සඳහන් කර සිටියේ දෙසතියක කාලයක් තමන් පෞද්ගලික චැනල් සේවාවලින් ඉවත්වීමට තීරණය කල බවය. නමුත් මෙතෙක් ඔවුන් එවැනි තීරණයක් ක්‍රියාත්මක කර නොමැත.

මේ සම්බන්ධව මූල්‍ය වෙළඳපොල විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ  රජයේ සේවය කිරීමට අදාළව කිසිඳු  වෛද්‍යවරකුගෙන් 24%ක බද්දකට යටත් නොමැති බවත් රජයේ සේවය වෙනුවෙන් වෛද්‍යවරුන් යටත් වන උපරිම බදු ප්‍රතිශතය වන්නේ  12%  ක උපයන විට ගෙවීමේ බද්දට පමණක් වන බවය.

සාමාන්‍ය වෛද්‍යවරයෙකු රජයේ රෝහලක සේවය කිරීම වෙනුවෙන් ලබන වැටුප කීයද? ඒ වැටුපට  රු. 3,190 .08 බද්ද මහ දෙයක්ද?

මේ සම්බන්ධව අප කල සොයා බැලීමේදී අනාවරණය වුයේ  වෛද්‍යවරයකුගේ මුල් පත්වීමේ මාසික වැටුප සියළු දීමනා සහිතව රු. 164,876.00 ක් පමණ  වන බවය. නව දේශීය ආදායම් පනත අනුව එයින්, පළමු රු. 100,000 ට කිසිඳු බදු අයකිරීමක් සිදුවන්නේ නැත. නමුත් නව ක්‍රමය යටතේ එම වැටුපෙන් දෙවන රු. 50,000 ට 4% බැගින් රු. 2,000 ක බදු මුදලක් සහ ඉතිරි රු. 14,876 ට 8% බැගින්  රු. 1,190.08 බදු මුදලක් ලෙස එකතුව 12%ක් වූ බදු ප්‍රතිශතයකට යටත් වෙයි.
ඒ අනුව  එම්බීබීඑස් වෛද්‍යවරයෙක් ඔහුගේ මුල්  පත්වීම් මාසයේදී ගෙවිය යුතු වන බද්ද රු. 3,190 .08 කි. නැතහොත් රුපියල් තුන්දහස් එකසිය අනුවැයි, ශත බිංදුවයි අටකි. 

විශේෂඥ වෛද්‍යවරයෙකු රජයේ රෝහලක සේවය කිරීම වෙනුවෙන් ලබන වැටුප කීයද? ඒ වැටුපට  රු. 3,190 .08 බද්ද මහ දෙයක්ද? 

එසේම විශේෂඥ වෛද්‍යවරයකුගේ මුල් පත්වීමේ වැටුප සියළු දීමනා සහිතව රු. 255,379.00 කි. එම වැටුපෙහිද පළමු රුපියල් 100,000 බදු වලින් මුළුමනින්ම නිදහස්ය. නව බදු ක්‍රමය යටතේ දෙවන රු. 50,000 ට 4% බැගින් රු. 2,000ක්, තුන්වන රු. 50,000 ට 8% බැගින් රු. 4,000 ක්, හතරවන රු. 50,000 ට 12% බැගින් රු. 6,000ක් සහ ඉතිරි රු. 5,379 ට  16% බැගින් රු. 860.64 ක් අයකෙරෙයි.

ඒ අනුව මාසයකට රුපියල් දෙලක්ෂ පනස්පන් දහස් තුන්සිය හැත්තෑ නවයක (255,379.00) වැටුපක් ලබන  විශේෂඥ වෛද්‍යවරයකු උපයන විට ගෙවීම යටතේ බදු සඳහා ගෙවිය යුතු වන්නේ මාසිකව රුපියල්  12860.64 මුදලක් පමණි. 

එහෙනම් 24%ක බද්ද කාටද? වෛද්‍යවරුන් ඊට ඇතුලත් වන්නේ කොහොමද ?

මේ හැර ඔවුන් පෞද්ගලික වෛද්‍ය ක්ෂේත්‍රයේ (චැනලින්)  ව්‍යාපාර කරන්නේ නම් අධික ලාභ ලබන අනෙකුත් ව්‍යාපාරිකයන් මෙන්  24% ක උපරිමයකට යටත්ව බදු ගෙවිය යුතු වේ. මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් රජයට එරෙහිව විරෝධය දක්වමින් සිටින්නේ මෙම පෞද්ගලික චැනල් සේවා ඇතුළත්ව අයකරනු ලබන බදු ප්‍රතිශතය අඩු කරන ලෙසය.

විශේෂඥ වෛද්‍යවරයෙක් පමණක් නොව සාමාන්‍ය වෛද්‍යවරයෙක් පවා පෞද්ගලික වෛද්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන විට එක් රෝගියකු වෙතින් අවම වශයෙන් රුපියල් 1000ක මුදලක් අයකරයි. එම වෛද්‍යවරයා දිනකට රෝගීන් 50ක් පරීක්ෂා කළහොත් ඔහු දිනකට 50000ක ආදායමක් උපයයි. ඒ ආකාරයට මාසයකට දින 25ක් පෞද්ගලික සේවයේ යෙදුනහොත් උපයන ආදායම රුපියල් 12,50,000කි. ඊට ඔහු රජයෙන් ලබන වැටුපද එක්වූ විට ඔහු ලබන සමස්ථ ආදායම රුපියල් 1,250,000.00 + 164,876.00 = 1414876.00 කි. 

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරයෙකු උපයන මුදල අපට සිතා ගැනීම දුෂ්කර නැත. මෙරට පෞද්ගලික චැනල් සේවයේ නිරත විශේෂඥ  වෛද්‍යවරුන් අතර මසකට රුපියල් කෝටියකට ආසන්න ආදායමක්  උපයන වෛද්‍යවරුන් සිටින අතර  මවිතයට පත්වුවත් ඒ ආදායම පෞද්ගලික රෝහල් බිල් පරීක්ෂාවක් හරහා තහවුරු කර ගැනීම දුෂ්කර නැත.

වෛද්‍යවරුන්ට වැටුප හැර වෙනත් කිසිම සහනයක් රජයෙන් ලැබෙන්නේ නැද්ද? එසේනම්  අලුත් වාහනයක් සඳහා  වසර 5 කට වරක් ලක්ෂ 36 ක තීරුබදු සහය !

මෙයට අමතරව, වෛද්‍යවරුන්ටද වසර පහෙන් පහට අළුත් වාහන ගැනීම සඳහා  තීරු බදු රහිත වාහන බලපත්‍ර හිමිවේ. මෙමඟින් වසර 5 කට වරක් ලක්ෂ 36 ක තීරුබදු සහන ලැබේ.  ඒ අනුව, වසර 30 දී රැකියාවට එන වෛද්‍යවරයකුට වසර 30 ක සේවා කාලය තුළ ලක්ෂ 36 තීරුබදු සහන  6 ක් හිමිවේ. ඒ  යටතේ ඔවුන්ට ලැබෙන සහනයේ වටිනාකම  රු. ලක්ෂ 216 කි. ඔවුන් විශ්‍රාම යාමට පෙර වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ විධායක තනතුරට පත්වුවහොත් විශ්‍රාමික තීරුබදු සහනය රු. මිලියන 90 ක් පමණ ලැබේ.

ආණ්ඩුව බදු පනවන්නේ වෛද්‍යවරුන් සමඟ තරහකටද? නැත්නම් !

නැත. රජයේ පාර්ශවයේ යෝජනාව වන්නේ සාමාන්‍ය පොදු ජනතාව වෙත පීඩනය එල්ලවන වක්‍ර බදු, නිදර්ශනයක් ලෙස හාල්, පොල්, සීනි, වැනි භාණ්ඩ හා සේවා මත පැනවෙන බදු ආදායම් අඩු කිරීම සඳහා මෙසේ ඉහල ආදායම් උපයන පාර්ශව වෙතින් සෘජු බදු  අයකිරීමේ ප්‍රතිපත්තියට යොමුව ඇති බවය. අදටත් රජය බදු ආදායම් ලබන විට වක්‍ර බදු හරහා 80 %ක් උපයන විට සෘජු බදු හරහා ලබන්නේ 20%ක ආදායමක් පමණි.

රජය සිය දෛනික වියදම් ඇතුළුව, රාජ්‍ය සේවක වැටුපෙ සිට විශ්‍රාම වැටුප දක්වාත්, සමෘද්ධි සහනාධාරයේ සිට ගොවි රක්ෂණය, ආපදා වන්දි ඇතුළුව සියල්ල සඳහා වැය කරන්නේ බදු ආදායමින් ලබන මුදල්ය. එසේම සියළු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ඇතුළුව ණය සහ වෙනත් ප්‍රදාන හරහා ලැබෙන මුදල් හැර අනෙකුත් සියළු දේ සඳහා වැය කරන්නේද බදු හරහා ලබන ආදායමය. අධ්‍යාපනය,  සෞඛ්‍ය සේවා ඊට නිදර්ශන ලෙස දැක්විය හැකිය. මේ සියල්ල ජනතාව නොමිලේ ලබන්නේ බදු ආදායම් ඒ වෙත යොදවමින් වන අතර එවැනි පසුබිමක විශේෂඥ  වෛද්‍යවරුන් කරන මේ ඉල්ලීම සාධාරණද? හෙට දිනයේ ව්‍යාපාරිකයන්ද සිය ආදායම් මත ගෙවන බදු ප්‍රමාණය අහෝසි කරන්නට බලකරහොත් ජනතාව ලබන සේවා සඳහා රජය වැය කරන්නේ කෙසේද? ඒ මත සිට බදු ගැන කියන මේ කතා අතර කවුද ඇත්ත කියන්නේ, කවුද සාධාරණ යන්න තීරණය කිරීම ඔබ සතුය.