පාස්කු ප්‍රහාරය මේ දිනවල යළිත් රටේ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ.
ඒ, හිටපු අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල ගේ ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම’ නම් පොත දොරට වැඩීම නිසා ය. ඒත් එම පොතේ ඇති කරුණු පසෙක තබා පැලවත්ත මුල්තැන දී තිබෙන්නේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම පොත එළිදැක්වීමේ උත්සවයට යෑම ඉලක්ක කර ඔහුට පහරදීමේ ව්‍යාපෘතියකට ය. ඊට සමාජ මාධ්‍ය කිහිපයක් සහ විද්‍යුත් මාධ්‍ය කිහිපයක්ද සම්බන්ධ ය. රටේ විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාසට උදය ගම්මන්පිලගෙන් ලැබුණු ආරාධනයකට අනුව සජිත් එහි ගොස් තිබූ අතර ඔහු උත්සවය පැවති ශාලාවේ විනාඩි 15ක් පමණ රැඳී සිට වෙනත් කටයුත්තක් සඳහා නික්ම ගොස් තිබුණේ ය. ඒත් පොත එළිදැක්වූ පසුගිය අඟහරුවාදා රටේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් කරගෙන තිබුණේ, සජිත් මේ උත්සවයට සහභාගීවීම ය.
ජවිපෙ දෙබිඩි පිළිවෙත
පැලවත්තේ ඉහළ ම පුටුවල උපදෙස් පරිදි මාධ්‍ය කිහිපයක් ක්‍රියාත්මක කරමින් තිබූ මෙම සජිත් විරෝධී කැම්පෙන් එක පිළිබඳව සජබයේ තරුණ දේශපාලඥයින් ඇතුළු පිරිසක් දුරකතනය ඔස්සේ අදහස් හුවමාරු කරගෙත තිබූ අතර එහි දී සජබයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන එක් තරුණ මන්ත්‍රීවරයෙක් පෙන්වාදී තිබුණේ අපූරු උදාහරණයක් ය.
“ මචං, සජිත් ලොක්ක ගම්මන්පිල ගේ පොතේ උත්සවයට ගියා කියලා අන්න කට්ටිය හෝගාල ලොක්කට මඩක් ගහනවා. බලපං මචං දැන් සුමානෙකට විතර ඉස්සෙල්ලා තිලංග සුමතිපාල ‘AN ISLAND OF BALANCE “ (සමබර දූපතක අනාගත බලාපොරොත්තුව) කියලා පොතක් එළිදැක්වුවා. ඒ පොත දොරට වැඩීමේ උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, මන්ත්‍රී නාමල් රාජපක්ෂ එක්ක ආණ්ඩුවේ සභානායක ඇමති බිමල් රත්නායකත් ගිහින් හිටියා. මට මතකයි 2024 රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමති විදිහට ඉන්නකොට ක්‍රිකට් කේස් එක ඇවිළුණ වෙලාවේ, අනුරලා, බිමල්ලා, විජිතලා, හඳුන්නෙත්තිලා තිලංගට බැණපු බැණිලි. ඒ සෙට් එක හැමදාම තිලංගට බැන්නේ, රටේ දූෂිත ක්‍රිකට් නඩත්තු කරන රේස් බුකී කාරයා කියල නේ. එතකොට මෙහෙම බැලුවම තිලංග ගේ පොත එළිදක්වන්න වැඩේට බිමල් ගියපු එකත් වැරැද්දක් නේ බං. අහවල් එකකට ද බිමල් තිලංග ගේ පොතේ උත්සවයට ගියේ...?”
ආණ්ඩුවේ එදාවේල කැම්පෙන්
සජබයේ තවත් තරුණ දේශපාලඥයෙක් ඊට ප්‍රතිචාර දැක්වූවේ මෙලෙස ය.
“මේක නේ මචං... මමනම් මැද ඉඳන් බලන මිනිහෙක් විදිහට ඒකේ වරදක් දකින්නේ නෑ, බිමල් ගියේ තිලංගගේ ආරාධනාවකට නේ. අපේ ලොක්කත් ගියේ ගම්මන්පිලගේ ආරාධනාවකට නේ. බිමල් ඇමති, ඒ වගේ ම සභානායක, එතකොට අපේ ලොක්ක විපක්ෂ නායක, දෙන්නට ම ආරාධනා දෙකක් එනවා පොත් දෙකක් එළිදක්වන උත්සව දෙකක. ඉතිං දෙන්න මේ පොතේ තියෙන කන්ටෙන්ට් එක හරී කියලා, ඒක අනුමත කරලා උත්සවවලට ගියා නෙමෙයි නේ. ඕක තමයි හොඳම උත්තරේ ඔය ලොක්කට ගහන මඩේ කෙළවන්න.”

ඒ දුරකතන සංවාදයට එක්වී සිටි සජබයේ තරුණ ආසන සංවිධායකවරයකුත් මේකට නියම සොලියුෂන් එකක් දුන්නේ ය.
“මෙහෙමනේ මචං, ලොක්ක ඔය උදයට පොත ලියන්න කිව්වෙත් නෑ, උදය එක්ක පොත ලිව්වෙත් නෑ, උදයට ලියන්න උපදෙස් දුන්නෙත් නෑ. ඒ පොතේ තියෙන දේවල් හරී කිව්වෙත් නෑ. ඒක නිසා ටිකක් දවස් ඕක මාලිමා සෙට්එක බයිට් එකට ගනීවි. උදය ගම්මන්පිලට පොදු විපක්ෂයේ සාකච්ජාවල දී සජිත්ව මීට්වෙන එක ගැටලුවක් නොවී, සජිත් උදයගේ පොතට ගිහින් හමුවීම ගැටලුවක් වෙන්නේ කෙහොමද මටනම් තේරෙන්නෙ නෑ.
මේවා මචං ආණ්ඩුවේ එදාවේල ගොඩදාගන්න කැම්පෙන් විතරයි, රටේ මිනිස්සු අන්තිමට බලන්නේ අනුර පාස්කු අපරාධකාරයෝ ඇල්ලුව ද? එයාලට නඩු දාලා හිරේ යැව්වද කියන එක විතරයි. අනුර ගිය අවුරුද්දේ පාස්කු ඉරිදට ඉස්සෙල්ලා මහමොළකරු රටට හෙළි කරනවා කිව්වා දැන් 2026 පාස්කුත් මේ ඉරිදා එනවා තාම මොළකරු අනුර ගේ ලාච්චුවේ. එළියට දැම්මේ නෑ. අන්න මම දැක්කා අණ්ඩුව පිල්ලෙයාන්, පිල්ලෙයාන් කිය, කිය ගියා අන්න පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සම්බන්ධ නෑ කියලා නිවුස්වලට කිව්වා. අනුරයා එක, එකාට චෝදනා කර, කර ගියාට අන්තිමට රටේ මිනිස්සුයි, කාදිනල් හිමි කෝ පාස්කු මහමොළකරු කවුද? කියලා අහපු දවසට ඉතිං ඊබ්‍රහිම් නානව තමයි අනුරටයි, පැලවත්තටයි පෙන්නන්න වෙන්නේ. අනුරත් පාස්කු අස්සේ දේශපාලන ගේම් නොගහා පරීක්ෂණ හරියට කරලා, 2029 අවුරුද්දෙදීවත් හරිදේ රටට කිව්වේ නැත්නම් පොර කපෝති. නැත්නම් මිනිස්සුට ආයෙත් මොනව කියන්නද? අනුරට බෑ කියලා තමයි කියන්න වෙන්නේ.”
සජිත් වෙනුවෙන් රංජිත් පෙරට

මේ අස්සේ පහුගිය බ්‍රහස්පතින්දා සජබ මාධ්‍ය හමුවට වාඩි වෙච්ච මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විපක්ෂ නායක සජිත්, උදය ගම්මන්පිල ගේ පොත දොරට වැඩීමේ උත්සවයට යෑම ගැන මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්ණ කිරීම්වලට සෘජු පිළිතුරක් ලබාදුන්නේ ය.
''ගම්මන්පිල මහත්තය ගේ කෘතිය එළිදැක්වීමට විපක්ෂයේ පක්ෂ සියල්ල සම්බන්ධ වුණා. ඒත් ඒ කෘතියෙ තියෙන කරුණු ලිව්වේ අපිවත්, සජිත් ප්‍රේමදාස මහත්තයවත් මැදිහත්වෙලා හෝ, අනුදැනුමකින් නෙමෙයි. ඒකේ තියෙන හැම කරුණකට ම සමගි ජනබලවේගය එකඟ වෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සමගි ජනබලවේගය මීට ඉස්සෙල්ලා සිටි ස්ථාවරයේ ම තමයි අදටත් ඉන්නේ. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් කතෝලික ජනතාව විශාල පිරිසක් අගතියට පත්වුණා. මුස්ලිම් ජනතාවත් අගතියට පත්වුණා. පාස්කු ප්‍රහාරය නිසා 2019 ජනාධිපතිවරණයේ දී වාසිය ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ඒ වගේ ම පාස්කු ප්‍රහාරයට උත්තර සොයන බව කියමින් 2024 වාසි ගත්තේ අනුර කුමාර දිසානායක මහත්තයා. එයා ජනාධිපතිවෙන්න පෙරොන්දු ගොඩක් දුන්නා. මේ අවස්ථා දෙකේදී ම අවාසිය සිද්ධ වුණේ සජිත් ප්‍රේමදාස මහත්තයට. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරු සොයා ගත යුතුමයි. ඒ පුද්ගලයාට හෝ කණ්ඩායම දඩුවම් ලබාදිය යුතුමයි. ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළිකරන බව කිව්වත් තවමත් වර්තමාන ආණ්ඩුව ඒකට අපොහොසත් වෙලා. ඒ වගේම තමයි අපි මතක් කරලා දෙන්න ඕන පාස්කු ප්‍රහාර ගැන සොයන්න දේශිය, විදේශිය විමර්ශකයින් පත් කරලා පැහැදිලි වැඩපිළිවෙළක් ලිඛිතව පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කළේ සජිත් ප්‍රේමදාස මහත්තයා විතරයි. මම යළිත් කියනවා ගම්මන්පිල මහත්තයගේ කෘතියේ තිබෙන සියලු ම දේවල්වලට සමගි ජනබලවේගය එකඟවෙන්නේ නැහැ.''
ගහට - ගහක් හමුවූ මොරටුව

මේ දිනවල සමගි ජන බලවේගය විසින් ආසන මට්ටමින් සංවිධානය කරන “ පච මදිවට හොරු - අනුරට බෑ” සම්මන්ත්‍රණ මාලාව ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වන අතර එහි එක් වැඩසටහනක් මොරටුවේ දී පැවැත්වුණා.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහභාගීවූ මේ සම්මන්ත්‍රණය ගැන බොහෝ දෙනකු ගේ අවධානය යොමුව තිබුණේ, ඔවුන් සමගියේ ප්‍රධානීන් දෙදෙනකු වීම නිසා පමණක් නොව පසුගිය සමයේ ඔවුන් අතර හිත් අමනාපකමක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් පළ කර තිබීම නිසා ය. එහෙත් මොරටුවේ සම්මන්ත්‍රණය අවස්ථාවේ ළඟ අසුන් දෙකක වාඩිවී සිටි සජිත් සහ හර්ෂ ඉතා සුහදව එකිනෙකා අතර අදහස් හුවමාරු කරගන්නා අයුරු රැස්ව සිටි සියල්ලන්ට දැකගන්නට ලැබී තිබුනේ ය.
වර්තමානයේ උද්ගතවෙමින් ඇති අර්බුදයට මුහුණ දීමට වත්මන් ආණ්ඩුවට පැහැදිලි සැලසුම්සහගත වැඩපිළිවෙළක් නොමැති බව අවධාරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි දී පෙන්වා දුන්නේ, ඒ වෙනුවෙන් සමගි ජනබලවේග විද්වතුන් සහ විශේෂඥයින් සමඟ රජයට නිරත්තරයෙන් යෝජනා ඉදිරිපත් කරන බව ය.

“පසුගිය අවුරුද්දේ ජුනි මාසයේ ඉඳන් තමයි ඇමෙරිකාව විසින් ඊශ්‍රාලය සමග එක්වෙලා ඉරානයට ප්‍රහාර එල්ල කරන්න මූලික අඩිතාලම දැම්මේ. ඒ අවස්ථාවේදීත් අපි පාර්ලිමේන්තුවේ දී කිව්ව ඉදිරියේදී ලෝකය තුළ යුදමය වාතාවරණයක පෙර නිමිති පේනවා, රටක් විදිහට අපිත් ඊට සූදානම් විය යුතුයි කියලා. ඒත් ආණ්ඩුවේ මැති ඇමතිවරු, කොරහේ කිඹුල්ලු දකිනවා කියලා අපිට හිනා වුනා. අද අපි කියපු දේ සත්‍ය වෙලා. ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කරනකොට, වෙනිසියුවේලානු ජනාධිපතිවරයා ඇමෙරිකානු හමුදාව අත්අඩංගුවට ගන්නකොට තමයි අපි මේ අනතුරු අඟවීම් කළේ.”
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් පෙන්වා දුන්නේ, බාල ගල් අඟුරු හේතුවෙන් විදුලි උත්පාදනය සිදුව ඇති බලපෑම සහ ඉදිරියේදී වැඩි කිරීමට යන විදුලි බිලේ බලපෑම් ගැන ය. සජිත් මෙහිදී ආණ්ඩුවට වැදගත් යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කළේ ය.
“ මේ මැදපෙරදිග අර්බුදය හරහා අපිට ඊළඟට බලපෑම් එල්ල වෙන්නේ පෙහොරවලට, ඉදිරියේදී ඇතිවෙන පොහොර හිඟයට රජය මේ මෙහොතේ ඉඳන් විසඳුම් සෙවිය යුතුයි. අපිට ආරංචි විදිහට පොහොර මෙට්‍රික් ටොන් 70,000 විතර තමයි රට තුළ තියෙන්නේ, ඒක ප්‍රමාණවත් නෑ ඉදිරි කන්නය වගා කරන්න. ඉරානය පොහොර නිෂ්පාදනය නතර කර ඇති පසුබිමක ඕමාන්, කටාර්, එමීරේට් වගේ රටවල පොහොර නිෂ්පාදනයත් අඩුවෙමින් තියෙන්නේ, චීනය පොහොර අපනයනය තහනම් කරලා, එහෙම නම් අපි ඉන්දුනීසියාව, රුසියාව වගේ රටවල් සමග පොහොර සඳහා සාකච්ජා ආරම්භ කළ යුතුයි. යම් හෙයකින් පොහොර හිඟයක් ඇති වුනොත් වගාවෙන් ගොවියා ඈත් වෙනවා, ඒ නිසා අස්වැන්න අඩුවෙලා ආහාර සුරක්ෂිතභාවයට බලපෑමක් වෙනවා. අපේ යෝජනාව නම් පොහොරවලට ගහලා තියෙන වැට් එක ඉවත් කිරීම මේ වෙලාවේ කාලෝචිතයි. ඒ වගේම මහාභාණ්ඩාගාරයේ තියෙන ජනතාව ගේ බදු මුදල් මේ වගේ අවස්ථාවක ජනතාව ජීවත් කරවන්න යෙදවිය යුතුයි. ජනතාව මත ඇති බදු බර ඉවත් කරන්න සහන පැකේජයක් හඳුන්වා දිය යුතුයි කියලා අපිනම් යෝජනා කරනවා. මේ වගේ අවස්ථාවක තමයි අමාරුම ජනකොටස් අපි රැකගන්න ඕන.”

බාල ගල්අඟුරු නිසා ඔබට දරන්න වෙන අතිරේක මුදල ගැන දන්නවද...?
මොරටුව සම්මන්ත්‍රණයේ දී හර්ෂ ද සිල්වා ඉන්ධන මිල ඉහළ යෑම නිසා ජනතාවට දරන්නට වෙන වියදම සහ බාල ගල්අඟුරු නිසා සිදුවන පාඩුවේ ස්භාවය සරලව පැහැදිළි කළේ ය.

“අපේ රටේ දිනකට ඉන්ධන බැරල් එක්ලක්ෂ පහළොස් දහසක් පාවිච්චි කරනවා. ලෝක වෙළඳපොළේ තෙල් බැරල් එකක් ඩොලර් 1 කින් වැඩි උනොත් ඒකෙන් මාසෙක අපේ තෙල් වියදම රුපියල් බිලියන එකකින් වැඩිවෙනවා. සෘජුව අපේ ඉන්ධන මිල එහෙම වැඩිවෙද්දී ගල්අඟුරු වංචාව නිසා අඩුවෙන විදුලිය ප්‍රමාණය නිපදවන්න දිනපතා ඩීසල් වැඩියෙන් යොදා ගැනීම හරහා අපිට මාසෙකට දරන්න වෙන අතිරේක වියදම කීයද? ඒකත් තවත් රු බිලියනයක් වෙනවා. දැන් අපිට තෙල් මිල ඩොලර් එකකින් ඉහළ ගියොත් මාසෙකට දරන්න වෙන අතිරේක වියදම රු බිලියන 2යි. ඒත් තෙල්මිල වැඩිවෙන්නේ ඩොලර් 1න් 2න් නෙමෙයි, ඩොලර් 10න් 20න් තමයි වැඩි වෙන්නේ, එතකොට ඒකේ බලපෑම නිසා මාසයක අපේ වියදම රු බිලියන 20 න් වැඩි වෙනවා. ඒකෙන් බිලියන 10ක්ම බාල ගල්අඟුරු හොරකම නිසා වෙච්ච විදුලිය උත්පාදනයේ මදිපාඩුව පියව ගන්න ඩීසල් බලාගාර දුවන්න වීම නිසා තමයි සිද්ධ වෙන්නේ. විදුලි බිල වැඩිකරලා පියව ගන්න හදන්නේ ඒ පාඩුව තමයි.”
“පච මදිවට හොරු… අනුරට බෑ…”


සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන “පච මදිවට හොරු… අනුරට බෑ…” සම්මන්ත්‍රණ මාලාවට සමගාමීව දැන් විරෝධතා මාලාවක් ද සංවිධානය කර තිබෙන්නේ ආසන සංවිධායකවරුන්ගේද දැඩි ඉල්ලීමක් අනුව ය.
එය දිනෙන් දින සාර්ථකව ඉදිරියට යද්දී, දහවල් සහ රාත්‍රී භේදයකින් තොරව එම උද්ඝෝෂණවලට ජනතාව එක්රොක් වෙමින් සිටින අයුරුද පෙනෙන්නට තිබේ. එවැනි විරෝධතා තුනක් පසුගිය දා රත්ගම, හික්කඩුව, රඹුක්කන නගරවල දී ද පැවැත්වුණි.
මම | බංගලා හන්දියේ ලියුම්කරු
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
