Language Switcher

V2025

දැයේ දරුවන් රකින්න : කොන්දේසි විරහිතව එන්න - ජනාධිපති

මෙරට දරු පරපුර දැනට සමාජය තුළ පැතිර යන විවිධ ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා  රජයක් ලෙස පුළුල්  අවධානයකින් කටයුතු කරන අතර, ඒ උදෙසා සියලූ පාර්ශ්වයන් කොන්දේසි විරහිතව සිය දායකත්වය ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පවසා ඇත.

දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන එම වැඩපිළිවෙළහි ප‍්‍රමුඛ පියවරක් වන අතර දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය මෙන්ම ඔවුන්ට යහපත් අනාගතයක් උදාකරලීම එහි අරමුණ බවද  ජනාධිපතිතුමා සඳහන් කර ඇත.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (18) පෙරවරුවේ කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවති ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ති‍්‍රක් සමුළුව  අමතමිනි. 

ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂාකර ගැනීම සහ ඔවුන්ගේ කායික, මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ මගපෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලයේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන කි‍්‍රයාවට නංවා තිබේ.

සමාජය තුළ දැනට පැතිර පවතින විවිධ ව්‍යසනයන්ගෙන් දරු පරපුර ආරක්ෂා කර ගැනීම ප‍්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන  අපයෝජනය අපහරණය වැළැක්වීම, ආරක්ෂාව තහවුරු කිරීම සෞඛ්‍ය පෝෂණය හා සුබසාධනය, පෞරුෂ සංවර්ධනය අධ්‍යාපන හා ජීවන කුසලතා නැංවීම යන පස්වැදෑරුම් අංශ ඔස්සේ මෙම වැඩසටහන දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා ඇත.
ඉතිහාසයේ ප‍්‍රථම වරට අමාත්‍යාංශ 14 ක්, දෙපාර්තමේන්තු 05 ක්, ආයතන 06 ක්, පළාත් සභා 09 ක් සහ සිවිල් සහ ස්වේච්ජා  සංවිධාන ඒකාබද්ධ කරගනිමින් විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන අතර 2017 සිට 2019 දක්වා තෙවසරක සැළැස්ම සඳහා  වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 5232.6 කි. 

ස්වේච්ජා  ළමා නිවාසවල ප‍්‍රමිතින් පාලනය කිරීම, අධීක්ෂණය හා පරිපාලනය පිළිබඳව  ප‍්‍රඥප්තීන් හඳුන්වාදීම, ළමා රැඳවුම්  මධ්‍යස්ථාන යන නාමය ආරක්ෂිත නිවහන ලෙස වෙනස් කිරීම, නිවාසගත දරුවන් දේශීය විදේශීය වශයෙන් හදා වඩා ගැනීමට අවශ්‍ය නෛතික ප‍්‍රතිපාදන කි‍්‍රයාත්මක කිරීම, ලැගුම්හල් හා ඖෂධහල් ලියාපදිංචිය හා නියාමනය කර්යක්ෂම කිරීම ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන යටතේ කි‍්‍රයාවට නැංවීමට නියමිතය. 

විවිධ නෛතික කාරණා හේතුවෙන් රැඳවුම්  භාරයේ සිටින ළමුන් නැවත පාසල්ගත කිරීම සම්බන්ධව මෙතෙක් නිකුත් කර ඇති චක‍්‍රලේඛ බල ගැන්වීම මෙම වැඩසටහනේ ඉතාම සුවිශේෂී අරමුණකි.

දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන යටතේ කිලිනොච්චි දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම ද එදින සිදුකල බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කිලිනොච්චිය දිස්ති‍්‍රක්කය තුළ මව අහිමි දරුවන් 387 ක් සහ පියා අහිමි දරුවන් 378 ක් ජීවත් වන බවට තොරතුරු වාර්තා වෙයි. අධිකරණමය කටයුතුවලට සම්බන්ධ වූ අඩු වයස් හා ළමා මව්වරුන් මෙන්ම අවතැන් දරුවන් ළමා නිවාසවල විවිධ අඩුපාඩු මධ්‍යයේ ජීවත් වෙති.