ගාල්ල වරායට නාවික සැතපුම් 40ක් පමණ දුරින් වූ ජාත්‍යන්තර මුහුදේ දී අනතුරට පත්වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවේ සිටි පිරිසක් බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.
අද (04) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මේ පිළිබඳව කරුණු අනාවරණය කළේය.
අනතුරට පත්වන අවස්ථාවේ නෞකාවේ පුද්ගලයින් 180 දෙනෙකු සිට ඇති අතර ඉන් 30 දෙනෙකු මේ වන විට නාවික හමුදාව විසින් ආරක්ෂිතව මුදාගෙන ඇති අතර ඔවුන්ව ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
අනතුර සිදුවූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරීක්ෂණ යානයක් ද යොදවා ඇත.
විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ නෞකාව අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නොවන බවයි.
කෙසේ වෙතත්, අද උදෑසන 5.08ට පමණ නාවික හමුදාවට ලද ආපදා පණිවුඩයකට (Distress Call) අනුව ජාත්‍යන්තර සම්මුතීන්ට ගරු කරමින් මානුෂීය පදනම මත මෙම බේරාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ඔහු පැවසීය.

