Language Switcher

V2025

ඒකාධිපති පාලනය ජනතා අපේක්ෂාව නොවෙයි - ජනාධිපති

2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව රටේ පාලනයේ වෙනසකට දායකවූයේ එදා රට තුළ මතුවෙමින් තිබූ ඒකාධිපති පාලනයක ස්වරූපයට එරෙහිව බවත්  එම අත්දැකීම් අමතක වී ගිය උදවිය අද නැවතත් රටට ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටිය ද 2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තැබූ අපේක්ෂාවන් බිඳ වැටීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන  මේ බව අවධාරණය කළේ අද (21)පෙරවරුවේ නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

ඒකාධිපති පාලනයක යුගය නිමා කරමින් ජනතාව ඉල්ලා සිටි නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සියයට සියයකින් නොව සියයට දෙසීයකින් අද රට තුළ තහවුරු කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඒ තුළ පන නැති පාලනයක් ලෙස වත්මන් පාලනය හඳුුන්වාදීමට ඇතැමුන් කටයුතු කළ ද එය නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවදය සමඟ යන ගමනක් බව ඔවුන් සියලූදෙනා අවබෝධ කරගතයුතු බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එසේම ලැබී ඇති නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැරදි අන්දමින් භාවිතා කරමින් රජයට පහරදීමට ඇතැමුන් කටයුතු කළ ද රටේ උගතුන්, බුද්ධිමතුන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සියලූදෙනා එක්කර ගනිමින් රටට අවශ්‍ය නිවැරදි දේශපාලන සහ සංවර්ධන ගමන තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යන බවද  ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

පසුගිය වසර තුන හමාර තුළ රට තුළ තහවුරු කළ  නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමගින් දුරස්වී සිටි ජාත්‍යන්තරය යළි මාතෘභූමියට සමීප කරවීමට මෙන්ම රටට ජයග‍්‍රහණ රැසක් අත්කරදීමට හැකි වූ බවද පෙන්වාදුන් ජනාධිපතිවරයා  මෙසේ  රට දිනාගත් ගමන ආපසු හැරවීමට කිසිවෙකු දායක නොවිය යුතු බව ද අවධාරණය කර ඇත.

නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කෙරුණු 81 වැනි උදා ගම්මානය වන කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ නිකවැරටිය, කොටවෙහෙර ,වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

අක්කර 6.67 ක් භූමි භාගයක ඉදිකර තිබෙන මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 32 කින් සමන්විත වන අතර විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමක් සහ විධිමත්ව සකස් කළ ප‍්‍රවේශ සහ අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විත අංග සම්පූර්ණ ආදර්ශ ගම්මානයක් ලෙස එය ඉදිකර තිබේ.

නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය. 

ආදර්ශ ගම්මානයේ ඔසු උයන ද ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක්වූ අතර නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින් නා පැළයක් ද රෝපණය කෙරිණි.

නිවාසලාභීන් වෙත සංකේතාත්මකව යතුරු ප‍්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවිය. 

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, එස්.බී. නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුළු පලාතේ දේශපාලන නියෝජිතයින් රැසක් ද නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.