කාන්තාවන් විසින් පවුල වෙනුවෙන් සිදු කරනු ලබන, එහෙත් බොහෝ විට ඇගයීමට ලක් නොවන ‘වැටුප් නොලබන’ ගෘහස්ථ කාර්යයන් පවුලට මෙන්ම ජාතික ආර්ථිකයට ද විශාල දායකත්වයක් සපයන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අවධාරණය කළා ය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු (ADB) මූලස්ථානයේ දී ඊයේ (10) පැවැති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙලේ ප්‍රධාන දේශනය පවත්වමිනි.
කාන්තා හිතකාමී ප්‍රතිපත්ති සහ සමාජ ආරක්ෂණ වැඩසටහන්
කාන්තාවන්ගේ මෙහෙවර නිසි ලෙස හඳුනාගැනීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ඔවුන් පූර්ණ වශයෙන් ආර්ථික කටයුතු සඳහා දායක කරගත හැකි කාන්තා හිතකාමී ප්‍රතිපත්ති සහ සමාජ ආරක්ෂණ වැඩසටහන්වල අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කළා ය. පවතින බාධා ඉවත් කිරීම සඳහා රජයන් සහ ජාත්‍යන්තර සංවිධාන එක්ව කටයුතු කළ යුතු බව ද, කාන්තාවන් සහ ගැහැනු දරුවන් සවිබල ගැන්වීම සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම අත්‍යවශ්‍ය බවත්, ශ්‍රී ලංකාව සැමවිට ම අධ්‍යාපනයට මුල් තැන ලබා දී ඇති බවත් අග්‍රාමාත්‍යවරිය සිහිපත් කළා ය.
සමාන අවස්ථා සහිත අධ්‍යාපන පද්ධතියක්
විශේෂයෙන් කාන්තාවන් තීරණ ගන්නා මට්ටමේ දේශපාලන ක්‍රියාවලියට එක්වීම, රැකියා වෙළඳපොළ තුළ කාන්තා දායකත්වය වැඩි කිරීම, සමාන අවස්ථා සහිත අධ්‍යාපන පද්ධතියක් පවත්වා ගැනීම යන කරුණු ස්ථාවර සහ සාධාරණ සංවර්ධනයක් සඳහා අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් අවධාරණය කළා ය.
කාන්තා නායකත්වය සහ සවිබලගැන්වීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සිදුකරන සුවිශේෂී කැපවීම අගයමින්, එහිදී ඇයට “ෂීරන් ලටීෆ් කාන්තා නායකත්ව සම්මානය” (Shireen Lateef Women’s Leadership Award) පිරිනිමී ය.
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ඇතුළු ජ්‍යේෂ්ඨ කළමණාකාරීත්වය, විදේශ තානාපතිවරුන් සහ සංවර්ධන හවුල්කරුවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උළෙල පැවැත්විණි.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය,


