කොළොන්නාව මීතොටමුල්ල ප‍්‍රදේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් 24ක් එම ඉඩමෙන් ඉවත් කොට ඉඩම විකිණීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 6 1/2 කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප‍්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන සැප්තැම්බර් 13,14 සහ ඔක්තෝම්බර් 04 වැනි දිනවලදී වැඩිදුර විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න නියම කර ඇත.
ඒ එම නඩුව අද (28) කැඳවූ අවස්ථාවේ ය.
එහිදී නඩුව විභාග කිරීමට නියමිත වුවත් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ රාජකාරීමය කටයුත්තකට විදේශගතවී ඇතැයි කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරිය ඉහත තීන්දුව ගෙන ඇත. එසේම මෙම නඩුවේ සාක්කිකාර ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස්ට සැප්තැම්බර් 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද විනිසුරුවරිය වැඩිදුරටත් නියම කර ඇත. 2015 අපේ‍්‍රල් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී සුරන්ජන් ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැත්තාට බියක් ඇති කර චෙක්පත් පහක් සහ පොරොන්දු නොට්ටු පහක් බලහත්කාරයෙන් ලබා ගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව කටයුතු කර අදාළ චෙක්පත් සහ පොරොන්දු නෝට්ටු ලබා ගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන චෝදනා මත විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා මෙම නඩුව පවරා ඇත. මේ යටතේ චෝදනා ලැබ සිටින්නේ බස්නාහිර පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳ වන ගම්පහ උඩුගම්පොල පදිංචි මොරීන් ස්ටේලා රණතුංග මහත්මිය සහ මොරීන් රණතුංග මහත්මියගේ ඥාතියෙකු වන ඔස්ටේ‍්‍රලියානු ජාතික නරේෂ් කුමාර් ෆාරිස් ය. නරේෂ් කුමාර් ෆාරිස් නමැති විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා ඔහු නොමැතිව මෙම නඩුව විභාග කිරීමටද අධිකරණය තීරණය කොට ඇත.

