බාල ගල්අඟුරු ගෙන්වීම හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව කුමන ආකාරයකින් හෝ ජනතාව ගෙන් අය කරගැනීමට එරෙහිව නඩු පැවරූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ගෙන්වීම හේතුවෙන් සිදුව ඇති අලාභය විදුලි ගාස්තු හරහා හෝ බදු මුදල් හරහා හෝ ජනතාව ගෙන් අය කිරීම වළක්වන ලෙසට නියෝගයක් ඉල්ලා ඊයේ (21) පෙරටුගාමී සමාජවාදී පක්ෂය අභියාචනාධිකරණයේ නඩුවක් පැවරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ...
ඉන්ධනවලින් සිදුවන අලාභය පමණක් රුපියල් බිලියන 20 ඉක්මවනවා
"ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ආනයනය නිසා විදුලි උත්පාදනය අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩු වීමත්, එම අඩුව මිල අධික ඩීසල් ඉන්ධන හරහා පියවා ගැනීමට සිදුවීමත් නිසා විශාල අලාභයක් සිදුවුණා. බාල ගල් අඟුරු නිසා බොයිලේරුවලට වන හානියේ මූල්‍ය අලාභයත්, පරිසර හානියේ යථාවත් පිරිවැයත් නොමැතිව ඉන්ධනවලින් සිදුවන අලාභය පමණක් රුපියල් බිලියන 20 ඉක්මවා යාමට ඉඩ තිබෙනවා. ප්‍රශ්නය මෙම අලාභය දැනටමත් ජීවන වියදමෙන් මිරිකී පීඩාවට පත්ව සිටින ජනතාව මත පැටවීමට ආණ්ඩුව උත්සාහ ගන්න එක. මේ අලාභය විදුලි ගාස්තුවට එකතු කරන්න දෙන්නේ නෑ කියලා මහජන උපයෝගිතා කොමිසම තීරණයක් ගත්තා. නමුත් බොරු ඉලක්කම් සෙල්ලම් හරහා විදුලි බිලෙනුත්, මහජනයා ගේ බදු මුදලිනුත් මේ පාඩුව පියවන්න හදනවා. ඒකට ඉඩ දෙන්න බෑ. මේ අලාභය බාල ගල් අඟුරු ගෙනා සමාගමෙන්, මේ මගඩියට ඉඩ සැලසූ දේශපාලන බලධාරීන්ගෙන් හා වගකිවයුතු නිලධාරීන්ගෙන් අය කරගත යුතුයි. කන්නත් නැතිව ඉන්න ජනතාව ගේ කර මත මේ පාඩුව පටවන්න දෙන්න බෑ. අපි අද අභියාචනාධිකරණය ඉදිරියේ ඉල්ලා සිටින්නේ ජනතාවගෙන් පාඩුව අය කිරීමට එරෙහි තහනම් නියෝගයක්, අලාභය වගකිවයුත්තන්ගෙන් අය කර ගැනීමේ මැන්ඩාමුස් ආඥාවක්, මේ නඩුව අවසන් වනතුරු විදුලි ගාස්තු වැඩි නොකරන ලෙස අතුරු නියෝගයක් සහ විදුලි ගාස්තු වැඩි කිරීමේ ගැසට් නිවේදනය අවළංගු කිරීමේ රීට් ආඥාවක්.
කොමිසමක් පත් කිරීම පිළිබඳව සැකයි
ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ගැන කිසිම වෙනත් අදහසක් නැති, මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළේ ම ඉන්න පාර්ලිමේන්තු විපක්ෂය මේ සමස්ත ප්‍රශ්නය හොරකමට ලඝු කළා. ආණ්ඩුවත් ඒකේ එල්ලිලා 2009 සිට හොරකම් හොයනවා කියලා නාට්‍යයක් රඟපානවා. ඒ නාට්‍යය දෙස බලා සිටිය දී ජනතාව ගෙන් පික්පොකට් ගහනවා. මේ අලාභය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය පෙබරවාරි මාසයේත්, මහජන උපයෝගිතා කොමිසම මාර්තු මාසයේත්, ජාතික විගණන කොමිසම අප්‍රේල් මාසයේත් වාර්තා නිකුත් කළා. ඒ කිසිවක් ගැන විමර්ශන නොකැඳවා කොමිසමක් පත් කිරීම සැක සහිතයි. ඒ වගේම මැයි පළමුවැනිදා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කොමිසමේ වාර්තාව ගැන කොමිසමට අපහාස කරමින් කළ ප්‍රකාශය තවදුරටත් ඒ සැකය තීව්‍ර කරනවා. ඒ නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කළා මේ නාට්‍යයේ හවුල්කාර නළුවන් බවට පත්නොවී ජනතාව ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න."
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
