Image

රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ අප්‍රේල් 21 සිට අඩාළයි

රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ අප්‍රේල් 21 සිට අඩාළයි

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ පසුගිය අප්‍රේල් 21 වෙනදා සිට සම්පූර්ණයෙන්ම අඩාළ වී ඇත.

මීට හේතුව එම යන්ත්‍රය අක්‍රිය වීම ය. යන්ත්‍රය අක්‍රිය වී මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සිදු වී නොමැත.

යන්ත්‍ර අමතර කොටස් රේගුවෙහි රඳවාගෙන

තොරතුරු සොයා බැලීමේ දී අනාවරණය වන්නේ යන්ත්‍රය නඩත්තුවට අවශ්‍ය අමතර උපාංග මේ වන විට ලංකාවට ආනයනය කර ඇතත්, එම අමතර කොටස් රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලිඛිත අනුමැතිය නොලැබී ඇති බව යි. මේ වන විට සතියකට වැඩි කාලයක් එම අමතර කොටස් නිදහස් කර ගත නොහැකිව රේගුවෙහි පවතී.

කුඩා දරුවන්ගේ MRI ස්කෑන් පරීක්ෂණ සිදු කිරීමේ දී නිර්වින්දනය කිරීමක් බොහෝවිට අවශ්‍ය වන අතර එම පහසුකම් සහිතව පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව මෙම රෝහල සතුව පැවතිණි. දැනට ලංකාවේ පවතින විශේෂිත වූ ළමා රෝහල් දෙකෙන් මේ වන විට MRI scan පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම් පවතින්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පමණක් වන අතර මෙම රෝහල දරුවන් 10 - 12අතර ප්‍රමාණයක scan පරීක්ෂණ ප්‍රමාණයක් දෛනිකව (දිවා කාලයේ පමණක් පරීක්‍ෂණ සිදුකෙරේ) සිදුකරන ලදී.

පෞද්ගලික අංශයේ පරීක්ෂණයට රුපියල් ලක්ෂයක්

මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI scan පරීක්ෂණ සිදු කිරීම සඳහා මාස 10 ට වැඩි පොරොත්තු ලේඛනයක් පවතින අතර පුද්ගලික අංශයෙන් කුඩා දරුවන් ගේ MRI පරීක්‍ෂණයක් සිදු කර ගැනීම සඳහා රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් වැය වෙයි.

යන්ත්‍රය නඩත්තුවට අදාළ අමතර කොටස් කඩිනමින් රේගුවෙන් මුදා ගැනීම සඳහා අවශ්‍ය ඖෂධ නියාම අධිකාරියේ අනුමැතිය ලබාදීමේ ප්‍රමාදය මගහැර කඩිනම් කිරීම සඳහා මැදිහත් වන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

චානක ධර්මවික්‍රම - සභාපති, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න